ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් දෝෂ සහිත බවට හඳුනාගෙන ඇති, ඖෂධ ආලේපිත හෘද කොරෝනරි ස්ටෙන්ට් (Drug Eluting Coronary Stents) වර්ග තුනක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සියලුම රජයේ සහ පෞද්ගලික සෞඛ්‍ය ආයතන වෙත උපදෙස් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) විසින් නිකුත් කර ඇති MSD/Q/S/2026/7 අංක දරන චක්‍රලේඛයට අනුව, මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාවේ 'Meril Life Sciences Pvt Ltd' ආයතනය නිෂ්පාදනය කරන ලද “Biomime Lineage” (Sirolimus Eluting Coronary Stent System) නමැති නිෂ්පාදන කිහිපයක ගුණාත්මකභාවය සහ ආරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ගැටලු රැසක් හඳුනාගැනීම හේතුවෙනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෛද්‍ය උපකරණ ඇගයීම් කමිටුව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, මෙම ස්ටෙන්ට් වර්ග භාවිත කිරීමේදී රෝගියාගේ හෘද රුධිර නාල තුළ නිසි ස්ථානයට එය රැගෙන යාමේ දුෂ්කරතා ඇති වීම, ස්ථාපනය කිරීමට පෙර ස්ටෙන්ට් කොටස ගැලවී යාමේ අවදානම, හදිසි රුධිර කැටි ගැසීම් (Acute Stent Thrombosis) සිදු වීම, ස්ටෙන්ට් එක නිසි ලෙස විහිද නොයෑම වැනි බරපතළ සංකූලතා මතු වන බවයි.
මෙම දෝෂ හේතුවෙන් සැත්කම් අතරතුරදී රෝගීන්ට අමතර වෛද්‍ය උපකරණ භාවිත කිරීමට සිදු වීම, සැත්කම් කාලය දීර්ඝ වීම, ඒ සඳහා වැය වන පිරිවැය ඉහළ යාම සහ රෝගීන්ගේ ජීවිත අවදානම වැඩි වීම වැනි අහිතකර තත්ත්වයන් නිර්මාණය වන බවද එම විමර්ශන වාර්තාවේ සඳහන් වේ.
මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර ඇත්තේ SR 13501504, SR 13501506 සහ SR 13501409 යන අනුක්‍රමික අංක (SR Numbers) යටතේ ලියාපදිංචි කර ඇති ස්ටෙන්ට් වර්ග තුන සහ ඒවාට අදාළ BLG16 හා BLG11 කාණ්ඩ අංක (Batch Numbers) සහිත නිෂ්පාදනයන්ය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති අතර, රෝහල් සතු ව පවතින අදාළ තොග භාවිතයෙන් ඉවත් කර වෙන් කර තැබීමට (Quarantine) පියවර ගන්නා ලෙස දන්වා ඇත.
වෛද්‍ය සැපයුම් අංශය සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ මෙම පියවරත් සමඟ, අදාළ ස්ටෙන්ට් වර්ග මීට පෙර ශරීරගත කර ඇති රෝගීන් පිළිබඳවද ඉදිරියේදී අඛණ්ඩ වෛද්‍ය අධීක්ෂණයකින් පසුවීම අත්‍යවශ්‍ය වන බවයි.

ඉන්දියාවේ 'Meril Life Sciences Pvt Ltd' ආයතනය නිෂ්පාදනය කරන ලද “Biomime Lineage” (Sirolimus Eluting Coronary Stent System) නමැති නිෂ්පාදන කිහිපයක ගුණාත්මකභාවය සහ ආරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ගැටලු රැසක් හඳුනාගැනීම හේතුවෙනි.
ReplyDeletemalath kamak naha indiyawene kihoma hari setkaramu
apu gaman givisum gahala thiyenne
ELIYE FULL INDIYAN VIRODE