ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මැද මුඩුක්කු, ලයින් නිවාස හදන බවට චෝදනා..


 නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට සංවර්ධනය කිරීමට යෝජිත නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණ භූමියේ අවිධිමත් ලෙස ඉදිවන මුඩුක්කු ලැයිම් නිවාස පේළියේ ඉදිකිරීම් කටයුතු වහාම නවත්වන ලෙස ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත සංදේශයක් භාර දී තිබේ.

මෙම සංදේශය (15) අන්තර්ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධන බලකාය විසින් දිස්ත්‍රික් ලේකම්තුමිය වෙත භාර දීමට කටයුතු කරනු ලැබීය.

සංදේශය භාරදීමේ අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්තුමිය අවසර ලබා නොදුන් අතර, ඇය එහිදී පවසා සිටියේ "මාධ්‍යයට ලබා දිය යුතු දේ අපි ලබා දී තිබෙනවා. මේ කාරණයත් මාධ්‍ය සංදර්ශනයක් කිරීමට ඉඩ ලබා දෙන්න බැහැ" යනුවෙනි.

අදාළ සංදේශය භාර දීමෙන් අනතුරුව, අන්තර්ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධන බලකායේ සභාපතිනී සකුන්තිකා මැණිකේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතුළත මෙලෙස මුඩුක්කුවක් නිර්මාණය වීමෙන් අනාගතයේදී එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් (තිප්පොළක්) බවට පත්වීමේ අවදානමක් සහ පාසල් වයසේ දරුවන් දැඩි අනතුරකට ලක්වීමේ ඉඩකඩක් ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිනිය මෙසේද පැවසුවාය:

"නුවරඑළිය මහ නගර සභාවෙන් ද්විත්ව ආපදාවන්ට පත් වූ අය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් සැකසීමට නුවරඑළිය මහ නගර සභාවට අයත් 'අයිලෑන්ඩ්' ඉඩම සභා අනුමැතියෙන් නිවැරදිව ලබා දී තිබෙනවා. එම භූමියේ ඔවුන්ට ස්ථිර ගොඩනැගිල්ලක් සාදන්න කියා අපි යෝජනා කරනවා. එසේ කිරීමට මේ මොහොතේ රජයට මුදල් නොමැති නම්, එම භූමියේම තාවකාලික ගොඩනැගිල්ලක් වුවද ඉදිකිරීමේ හැකියාව පවතිනවා.

එලෙස විකල්ප තිබියදී, වටිනාකම තක්සේරු කළ නොහැකි තරම් ඉහළ වටිනාකමකින් යුත් මෙම ක්‍රීඩාංගණ භූමියේ තාවකාලික ඉදිකිරීම් සිදු කර ඔවුන්ට ලබා දීම අනතුරුදායකයි. මොකද මෙච්චර කාලෙකට නුවරඑළියේ ඉදිකරපු කිසිම තාවකාලික ගොඩනැගිල්ලක් පසුව ඉවත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙනුවට එම පිරිස් එහිම පදිංචි වෙලා අයිතිවාසිකම් කියන්න ගන්නවා.

ඔය දැන් ඔතන තාවකාලික ඉදිකිරීම්වල පදිංචි කරවන්න යන අයට මීට පෙර අවස්ථාවලදී ඉඩම් කිහිපයක්ම ලබා දුන්නත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළා. තමන් සිටි ස්ථානයම තමන්ට සාදා දිය යුතු බවටයි ඔවුන් එකම මතයක සිටියේ. නමුත් ඔවුන් පවා නොසිතූ අයුරින් මෙවැනි වටිනා ස්ථානයක් ලැබුණු සැනින් ඔවුන් ඊට එකඟ වුණේ, මෙය කවදා හෝ තමන්ට අයිති කරගත හැකිය යන හැඟීමෙන් කියා අපිට හිතෙනවා.

ඒ වගේම, වසරේ විවිධ උත්සව හා සැණකෙළි පවත්වන අවස්ථාවලදී මෙම භූමියට අධික ලෙස මත්ද්‍රව්‍ය ලෝලීන් පැමිණෙනවා. ඔවුන්ගෙන් එහි පදිංචි වන අයට මෙන්ම එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට එන දරුවන්ටද දැඩි හානියක් සිදුවීමට ඉඩ තිබෙනවා. ඊට අමතරව අපද්‍රව්‍ය බැහැර කිරීම, ජල හා විදුලි පහසුකම් ලබාදීම වැනි කාරණා නිසා මෙම ක්‍රීඩාංගණය කිසිදා සංවර්ධනය කළ නොහැකි, මුළුමනින්ම අප්‍රසන්න පරිසරයක් බවට පත්වීමේ අවදානමක් පවතිනවා.

අපි මේ සංදේශය භාරදීමෙන් යෝජනා කළේ දැනට සිදු කෙරෙන ඉදිකිරීම් වහාම නවත්වා, ඒ සඳහා කලින් වෙන් කර ඇති සුදුසු ස්ථානයේ අදාළ ඉදිකිරීම් සිදු කරන ලෙසයි. කෙසේ වෙතත්, දිස්ත්‍රික් ලේකම්වරිය අපගේ යෝජනාවට සාධනීය ඇහුම්කන් දීමක් කළේ නැහැ. ඇය කියා සිටියේ වසර දෙකකින් අදාළ පවුල් එතැනින් ඉවත් කිරීමට රජය කටයුතු කරන බැවින්, ඒ දෙස බලා සිටින ලෙසයි.

අද අප විසින් භාර දුන් සංදේශයට නිසි පිළිතුරක් ලැබුණේ නැත්නම්, අපි ඉදිරියේදී තවත් මානව හිමිකම් සංවිධාන සහ නුවරඑළියට ආදරය කරන ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම්."

- ආර්.එෆ්.එම්.සුහෙල්

5 Comments

  1. These NPP cahoots are crazy ........... the country will become a shanty land very soon .....

    ReplyDelete
  2. These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.

    ReplyDelete
  3. This government will definitely destroy Sri Lanka before they leave. What a pathetic situation right now in Sri Lanka.

    ReplyDelete
  4. Me hattha lassana rata apayak karala thami yanne.

    ReplyDelete
  5. කිසිම දෙයක් නොමිලේ දෙන්න එපා.නිකමුන්ට පාර කැපීම රටක පලාතක විනාශයට මුල්.

    ReplyDelete
Previous Post Next Post