ලෙබනනය තුළ ඊශ්‍රායලය දියත් කර ඇති හමුදා ක්‍රියාමාර්ග තීව්ර කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
පසුගිය සඳුදා (ජුනි 01) සිදු වූ මෙම අතිශය රහසිගත දුරකථන සංවාදය පිළිබඳව ඇමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විශ්වාසවන්ත මූලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් 'ඇක්සියෝස්' (Axios) පුවත් සේවය මෙම තොරතුරු අනාවරණය කර ඇත.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඇමෙරිකාව සමඟ පවතින සාකච්ඡාවලින් ඉවත් වන බවට ඉරානය විසින් සඳුදා පෙරවරුවේ අනතුරු අඟවා තිබීම මෙම උණුසුම් තත්ත්වයට ප්‍රධානතම හේතුව වී තිබේ.
වාර්තා වන අන්දමට, මෙම දුරකථන ඇමතුමේදී ජනාධිපති ට්‍රම්ප් විසින් නෙතන්යාහුගේ තීරණ දැඩි විවේචනයට ලක් කර ඇති අතර, ඔහු කළගුණ නොදන්නෙකු ලෙසද හඳුන්වා ඇත.
විශේෂයෙන්ම, ලෙබනනයේ බේරූට් අගනුවරට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ වහාම අත්හිටුවීමට ද ට්‍රම්ප් මෙහිදී නියෝග කර තිබේ.
බේරූට් අගනුවරට බෝම්බ හෙලීමේ තර්ජනය ක්‍රියාත්මක කළහොත් ඊශ්‍රායලය ජාත්‍යන්තරය ඉදිරියේ තනි වනු ඇති බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත.
පුවත් වාර්තාවලට අනුව, නෙතන්යාහුට එරෙහිව පැවති දූෂණ චෝදනා නඩු විභාගවලදී තමන් ලබා දුන් සහයෝගය සිහිපත් කර ඇති ට්‍රම්ප්, නෙතන්යාහු සිරගත වීමෙන් වැළකුණේ තමන් නිසා බව පවසා තිබේ.
"ඔබ සම්පූර්ණයෙන්ම වියරු වැටිලා. මම නොසිටින්න ඔබ අද ඉන්නේ සිරගෙදර. මම ඔබව බේරා ගනිද්දී, මේ ක්‍රියාවන් නිසා අද මුළු ලෝකයම ඔබට සහ ඊශ්‍රායලයට වෛර කරනවා.
ඔබ මේ කරන්නේ කුමක්ද?" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් අතිශය කෝපයෙන් යුතුව නෙතන්යාහු වෙත කෑගසා ඇති බව ඇමෙරිකානු නිලධාරීහු ප්‍රකාශ කරති.
හමාස් සහ හෙස්බොල්ලා සංවිධානවල ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බව ට්‍රම්ප් පිළිගන්නා නමුත්, මෑත දිනවල නෙතන්යාහු ගත් තීරණ අසමානුපාතික සහ අනවශ්‍ය ලෙස යුද්ධය ඇවිළවීමක් බව ඇමෙරිකානු පාර්ශවයේ අදහසයි.
විශේෂයෙන්ම ලෙබනනයේ සිවිල් වැසියන් විශාල වශයෙන් මියයෑම සහ හෙස්බොල්ලා සංවිධානයේ එක් අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් සිවිල් වැසියන් වෙසෙන සමස්ත ගොඩනැගිලි සංකීර්ණ බිමට සමතලා කිරීමේ ඊශ්‍රායල උපක්‍රම කෙරෙහි ට්‍රම්ප් සිය දැඩි අකමැත්ත පළ කර ඇත.
මේ වන විට බේරූට් නුවර පිහිටි හෙස්බොල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් ඊශ්‍රායලය විසින් අත්හැර දමා ඇති බව ඊශ්‍රායල නිලධාරියෙකු සනාථ කර තිබේ.
කෙසේ වෙතත්, මෙම දුරකථන සංවාදයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, හෙස්බොල්ලා සංවිධානය ප්‍රහාර නතර නොකරන්නේ නම් බේරූට් නුවරට ප්‍රහාර එල්ල කරන බව තමන් ට්‍රම්ප් වෙත දැනුම් දුන් බවයි.
එමෙන්ම දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, ඊශ්‍රායලයේ ස්ථාවරය වෙනස් වී නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ.
නමුත් ඇමෙරිකානු නිලධාරීන් පවසන්නේ නෙතන්යාහුගේ ප්‍රකාශය කුමක් වුවත්, දුරකථන ඇමතුමේදී ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරය හමුවේ නෙතන්යාහුට සිය ස්ථාවරය වෙනස් කිරීමට සිදු වූ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත.
ඇමෙරිකාව සහ ඉරානය අතර දැනට සාකච්ඡා වෙමින් පවතින අවබෝධතා ගිවිසුම මඟින් ලෙබනනයේ පවතින ගැටුම් අවසන් කිරීම අපේක්ෂා කෙරේ. නෙතන්යාහුගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා බිඳ වැටීමේ අවදානමක් මතු වීම ට්‍රම්ප්ගේ දැඩි කෝපයට හේතු වී ඇත. කෙසේ වෙතත්, මෙම ඇමතුමෙන් පසුව සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමඟ පවතින සාකච්ඡා ඉතා වේගවත් මට්ටමකින් අඛණ්ඩව ඉදිරියට ඇදෙන බවයි.

පිස්සු උට්ටො දෙන්නෙක් පිස්සු කෙලිනවා. අපි මෙහෙ දුක් විඳිනවා.
ReplyDeleteතෝ දුක් විදින්නේ ලපයාගේ පච නිසා.....
Delete