උපරිම මිල සීමාවන් පනවා ඇති ඖෂධ වර්ග හැටක මිල ගණන් සංශෝධනය කරමින් ලබන සතිය ඇතුළත නව රජයේ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් මූලික පියවර ගනිමින් සිටියි.
මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, දැනට මිල පාලනයට යටත් කර ඇති ඖෂධ 60 ක් ඇතුළුව දේශීයව නිපදවන සහ පිටරටින් ගෙන්වන සෙසු ඖෂධවල මිල ගණන් වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විද්‍යාත්මක අධ්‍යයනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීම, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සැපයුම් දාමයන්ට එල්ල වී ඇති බලපෑම, දේශීය ඖෂධ නිෂ්පාදන වියදම් ඉහළ යාම සහ මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ඖෂධවලින් අතිබහුතරයක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදු වීම ඖෂධ මිල මෙලෙස ඉහළ දැමීමට බලපා ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.
ඖෂධ ආනයනකරුවන්ගේ සංගම් විසින් කරන ලද ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
කෙසේ වුවද, වෙළෙඳපොළේ ඇති සියලුම ඖෂධ වර්ගවල මිල ගණන් මෙලෙස ඉහළ නොදමන බවත්, මිල වෙනස් කළ යුතුම ඖෂධ වර්ග පමණක් වෙන්කර හඳුනාගෙන ඉදිරියේදී මෙම මිල සංශෝධනය සිදු කරන බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් වන පූර්ණ විමර්ශනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අඛණ්ඩව සිදු කරනු ලබයි.
