තෙල් මිල වැඩි කල නිසා රජයේ නිලධාරින් ඉන්ධන කෝටා වැඩි කරන්නැයි කියති..


 වත්මන් වෙළෙඳපොළේ ඉන්ධන මිල මාර්තු මාසයට සාපේක්ෂව කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා තවමත් මාර්තු 01 වැනිදා පැවැති පැරණි මිල ගණන් යටතේ ගණනය කර ගෙවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ චෝදනා කරයි.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම සීමාකාරී චක්‍රලේඛය හේතුවෙන් අදාළ දීමනාවලට හිමිකම් කියන රාජ්‍ය නිලධාරීන් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉන්ධන දීමනා හිමි, එහෙත් නිවසේ සිට රාජකාරී කරන හෝ තමන්ගේ නිල රථ හා පෞද්ගලික වාහන භාවිත කරමින් ප්‍රාදේශීය මට්ටමින් ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වන නිලධාරීන්ට මාසිකව ඉන්ධන සඳහා අතිවිශාල පෞද්ගලික මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

පවතින අධික ජීවන වියදම හමුවේ රාජ්‍ය නිලධාරීන් පිට මෙලෙස අමතර බරක් පැටවීම අසාධාරණ බව පවසන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, මෙම තත්ත්වය කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව අවධාරණය කරයි. 

ඒ අනුව, දැනට පවතින ඉහළ ඉන්ධන මිලට සාපේක්ෂව අදාළ ඉන්ධන දීමනාව සංශෝධනය කර සහනයක් සැලසීමට රජය වහාම පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

1 Comments

  1. ඔක්කොටම ඉස්සෙල්ලා රාජ්‍ය සේවාවේ පිනට කන එක නවත්වන්න ඕන. නොමිලේ ඉගෙනගෙන, රජයෙන් පඩි අරගෙන, ගෙවල් කුලී දීමනා, නොමිලේ වාහන, නොමිලේ පෙට්රල්, දුෂ්කර දීමනා, හොර ඕවර් ටයිම් , තව හෝරාත් කාල, තවත් මොනවද දෙන්න කියන්නේ.

    ReplyDelete
Previous Post Next Post