සමෘද්ධි බැංකු පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණයට...


 රුපියල් බිලියන 400කට අධික මූල්‍ය ශක්තියකින් හෙබි සමෘද්ධි බැංකු පද්ධතිය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්කොට තනි බැංකු පද්ධතියක් යටතට පත්කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති සෝමසිරි ලියනගේ හෙළි කරයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල විසින් මේ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කර ඒ පිළිබඳ අවශ්‍ය මූලික පියවර සොයා බැලීම ආරම්භ කර ඇතැයි සෝමසිරි ලියනගේ සඳහන් කරයි.

මේ වන විට රට පුරා සමෘද්ධි සමිති 341ක් යටතේ තනි තනි වශයෙන් ප්‍රජා මූලික බැංකු ලෙස ක්‍රියාත්මක සමෘද්ධි බැංකුවල කටයුතු වඩාත් විධිමත් කර එහි විශ්වසනීයභාවය තහවුරු කර ප්‍රධාන බැංකුවක් යටතේ අදාළ ශාඛා පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙම සමෘද්ධි බැංකු ප්‍රතිව්‍යුහගත කිරීමේ අපේක්ෂාව බව ද ඔහු කියයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341 හි ක්‍රියාත්මක සමෘද්ධි සමිති යටතේ මෙම බැංකු තනි තනි වශයෙන් කටයුතු කිරීමෙන් ගැටලු ගණනාවක් මතුවී ඇතැයි ද ඉකුත් කාලයේ දේශපාලන අවශ්‍යතා මත මැතිවරණ කාලවලදී සමෘද්ධි බැංකුවේ අරමුදල් සමෘද්ධිලාභීන්ට බෙදාදෙමින් එය දේශපාලනීකරණයට ලක් කළ බවත් එමගින් යම් යම් මූල්‍ය අක්‍රමිකතා සිදුවූ බවත් ඔහු සඳහන් කරයි.

දැනට සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවය කරන විසිතුන් දහසක් පමණ වන සේවකයන්ට රැකියා අහිමි වීමකින් තොරව මෙම ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්නේ නම් ඊට උපරිම සහාය ලබාදීමට තම සංගමය සූදානම් බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් සමෘද්ධි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරන්නේ සමෘද්ධි බැංකු පද්ධතිය විකිණීමට මෙම රජය කටයුතු කරගෙන යන බවයි. එසේ කළහොත් තම රැකියා අහිමිවී යන බවද එම සංගමය පෙන්වා දෙයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන යමින් තිබෙන වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් ඇමැති ආචාර්ය උපාලි පන්නිල කියා සිටින්නේ දෙපාර්තමේන්තුව විකිණීමට හෝ කොටස් කිරීමට කිසිදු සූදානමක් නොමැති බවයි. සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ විසිනව වන ජාතික සම්මේලනයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක උසස්වීම් පටිපාටිය මේ වසර තුළ අවසන් කරන බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය. එම අවස්ථාවට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල ද එක්ව සිටියේය.

ශිරාන් රණසිංහ
දර්ශාන් කානිල්

Previous Post Next Post