ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ ‘මෙහ්ර්’ පුවත් ඒජන්සිය වාර්තා කරන අන්දමට, එම සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස ගමන් කිරීමට උත්සාහ කළ නෞකා දෙකකට ඉරාන බලකායන් විසින් ප්‍රහාර එල්ල කර ඇත.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ නෞකා පිළිබඳ විස්තර හෝ ඒවාට සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා මූලස්ථානය සඳහන් කර ඇත්තේ කලාපය තුළ පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන්, බොරතෙල් ප්‍රවාහන නෞකා සහ වාණිජ නෞකා ඇතුළු ඕනෑම වර්ගයක යාත්‍රාවල ගමනාගමනය සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවයි.
ඉරානයේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් විවෘතව පවතින බවත්, නෞකා සාමාන්‍ය පරිදි ගමන් කරන බවත්ය. එමෙන්ම, ඉරානය විසින් ඇමෙරිකානු යුද නැවකට ප්‍රහාරයක් එල්ල කළ බවට පැතිර යන වාර්තා ද ඔවුහු තරයේ ප්‍රතික්ෂේප කරති.
පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම බිඳ හෙළමින්, ජූනි 10 වනදා රාත්‍රියේ ඇමෙරිකානු බලකායන් විසින් ඉරානයට එරෙහිව නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කළේ, කලාපීය මුහුදු තීරයේ ගමන් කරන ඇමෙරිකානු හමුදාවන්ට සහ ජාත්‍යන්තර වාණිජ නෞකාවලට තර්ජනයක් වූ ඉරාන ඉලක්ක වෙත ඇමෙරිකානු මැරීන් බලකාය, ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව නිරවද්‍ය ප්‍රහාරක අවි මගින් ප්‍රහාර එල්ල කළ බවයි.
පසුගිය අඟහරුවාදා දිනයේදී කලාපය තුළදී ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් බිම හෙළීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර විය. එම හෙලිකොප්ටර් ප්‍රහාරයේ වගකීම ඉරානය මෙතෙක් භාරගෙන නොමැති වුවද, ඇමෙරිකාව පවසන්නේ මෙම නව ප්‍රහාර මාලාව ඉරානයේ අඛණ්ඩ ආක්‍රමණශීලී ක්‍රියාවලට පිළිතුරු වශයෙන් ස්වයං-ආරක්ෂාව උදෙසා එල්ල කළ එකක් බවයි.
