වර්තමානයේ වී වෙළඳපොළ තුළ නිර්මාණය වී ඇති ගැටලුකාරී තත්ත්වය මාලිමා රජය බලයට පත්වීමෙන් පසු ඇති වූවක් නොව, එය පසුගිය රජයන් විසින් සිදුකරන ලද අක්‍රමවත් පාලනයක සහ සැලසුම් රහිත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාව රජය තමන් වෙත භාර දෙන විට පැවති ගැටලු සියල්ල විසඳා පිරිසිදු තත්ත්වයකින් එය ලබා නොදුන් බවයි.
පරණ ආණ්ඩුවල වැරදි සහ අඩුපාඩුකම්වලට වත්මන් රජයට මුහුණ දීමට සිදුව ඇති බව හෙතෙම සඳහන් කළේය.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවල ගොවීන්ට සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇත්තේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා වසර ගණනාවක සිට ක්‍රමවත්ව හිස් නොකිරීම හේතුවෙන් බව අමාත්‍යවරයා පවසයි.
වී සඳහා සහතික මිල රුපියල් 120ක් ලෙස ප්‍රකාශයට පත් කළද, ගබඩාවල ඉඩකඩ නොමැතිකම සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් මීට පෙර නොතිබීම නිසා ගොවියා දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
වර්තමානයේ පවතින තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ අතරමැදි වෙළෙන්දන් සතු වී තොග අලෙවි කිරීමට උත්සාහ කිරීම මිස ගොවියාගෙන් අලුතින් වී මිලදී ගැනීමට ඔවුන් උනන්දු නොවීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ හරහා ගොවියාගේ ප්‍රශ්නයට වඩා වෙළඳපොළ තුළ නිර්මාණය කරන ලද කෘත්‍රිම ප්‍රශ්නයක් පවතින බව ඔහුගේ අදහසයි.
මෙම ගැටලු විසඳීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. අලුතින් වී ගබඩා ඇති කිරීම සහ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා රජය වෙහෙස මහන්සි වී වැඩ කරන බවත්, පසුගිය කන්නවලදී ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරි කන්නය වඩාත් සාර්ථකව කළමනාකරණය කරන බවත් ඔහු පැවසීය.
පැය 24කින් හෝ වසරකින් සියලු ප්‍රශ්න විසඳීම අසීරු වුවද, ජනතාවගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ලබාගන්නා බදු මුදල් රුපියලක් හෝ නාස්ති නොකරන බවට අමාත්‍යවරයා සහතිකයක් ලබා දුන්නේය. පෙර රජයන් මෙන් දූෂණ සහ වංචා සිදු නොකර, එම බදු මුදල්වල ප්‍රතිලාභය සාධාරණ ලෙස නැවත ජනතාවට ලබාදීම රජයේ එකම අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය
