කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් රැවටීමේ වංචාවක්.. SEC ආයෝජකයින්ට අනතුරු ඇඟවයි...


 “සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” (Samagi Capital (Private) Limited) නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කාර හෝ කොටස් වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම සමාගම වෙත කොටස් තැරැව්කාර වෙළෙඳ බලපත්‍රයක් (Broker Dealer License) ලබා දී ඇති බව අඟවමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සහතික පත්‍රය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ වංචනික එකක් බවත්, එය කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් එම නිවේදනයේ දැක්වේ.

මහජනතාව නොමඟ යවමින් සිදුකරන මෙම මූල්‍ය වංචාව පිළිබඳව ආයෝජකයින් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව SEC ආයතනය පෙන්වා දෙයි.

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ගනුදෙනු කිරීමේ අරමුණින්, “සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” වෙත හෝ ඊට අනුබද්ධ කිසිදු බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ආයෝජකයින්ගෙන් සහ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තමන් සතු ධනය සුරක්ෂිත කරගැනීම සඳහා ඕනෑම ආයෝජනයක් සිදු කිරීමට පෙර නිසි ලෙස කරුණු සොයා බැලීමේ වැදගත්කම පෙන්වා දෙන කොමිෂන් සභාව, සියලුම ගනුදෙනුකරුවන් පහත පියවර අනුගමනය කළ යුතු බව අවධාරණය කරයි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදු කළ යුත්තේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) නිසි බලපත්‍ර සහිත කොටස් තැරැව්කාර සමාගම් හරහා පමණි.

යම් ආයතනයක් බලපත්‍රලාභී අතරමැදි ආයතනයක් ද යන්න ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (www.sec.gov.lk) හෝ කොළඹ කොටස් වෙළෙඳපොළේ (www.cse.lk) නිල වෙබ් අඩවි වෙත පිවිස සැමවිටම තහවුරු කරගත යුතුය.

ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම ආයතනයේ පරම වගකීමක් බව පෙන්වා දෙන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, මෙවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට හසුනොවන ලෙස මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.


1 Comments

  1. සුවර් එකටම පැලවත්තෙ ඩයි ආතාගෙ වැඩක්
    මුං දෙනවා ගේමක් ආයෙ ලොවෙත් නැතිවෙන්ට

    ReplyDelete
Previous Post Next Post