විනිසුරු වයස වැඩි කලාම වැලිමඩ අල ගොවියට වෙන දේ..- නීතීඥ සභාපති ජනපතිගේ මූණටම කිවුව කතාව මෙන්න..


 විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සඳහා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය විරෝධය පළ කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මේ බව අවධාරණය කරන ලද වීඩියෝ පට ප‍්‍රසිද්ද කර ඇත.. 

මෙම සංශෝධනය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට බරපතළ හානියක් සිදු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසූරිය මහතා සඳහන් කළේ, අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් නීතිමය සංකල්පයක් පමණක් නොව, එය මහජන විශ්වාසය මත පදනම් වූවක් බවයි.

විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වැනි තීරණාත්මක කරුණු දේශපාලන අවශ්‍යතා මත හදිසියේ වෙනස් කිරීම නොකළ යුතු බව ඔහු පැවසීය.

"විනිසුරුවරයෙකු පත් කරන විට ඔහුට ස්ථාවර ධුර කාලයක් තිබිය යුතුයි. එය වෙනස් කිරීමෙන් අධිකරණයට ඇඟිලි ගැසීමක් සිදුවන බවට සමාජය තුළ සැකයක් මතු වෙනවා. 2012 වසරේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කළ අවස්ථාවේදීත් නීතිඥ සංගමය මෙලෙසම ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා. අද අප පෙනී සිටින්නේ ද එම ප්‍රතිපත්තිය වෙනුවෙන්මයි," යනුවෙන් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට අධිකරණ පද්ධතියේ පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණයෙන් බහුතරයක් මහේස්ත්‍රාත් අධිකරණවල පවතින බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම එම ප්‍රමාදයට විසඳුමක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවට තාක්ෂණය භාවිත කිරීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම වඩාත් වැදගත් බව ඔහු යෝජනා කළේය.

විශේෂයෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරුවරයා ඇතුළු පිරිසකගේ ධුර කාලය දීර්ඝ කිරීම ඉලක්ක කරගනිමින් මෙම සංශෝධනය ගෙන එන බවට එල්ල වන චෝදනා පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය.

එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල මෙවැනි වෙනස්කම් සිදු කරන්නේ වසර ගණනාවක විධිමත් සාකච්ඡාවලින් පසුව බවත්, ශ්‍රී ලංකාව තුළ ද එවැනි විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බවත් රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous Post Next Post