ආගම් පදනමින් හෙද නිල ඇදුම වෙනස් කරනවාට විරෝධය..



රෝහල්වල හෙදියන්ගේ නිල ඇඳුම ආගම් වල සංස්කෘතික ලක්ෂණයන් අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා සිටියි.

අදාළ සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

රජයේ රෝහල් වල හෙද නිලධාරීන් අදින නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් නිර්මාණය වූ නිල ඇඳුමකි.

යම් යම් අයගේ ආගම්වල පවතින සංස්කෘතික ලක්ෂණයන් අනුව හෙද නිල ඇඳුම වෙනස් විය යුතු යැයි රජයේ වගකිවයුතු ඇමතිවරයකු කිසියම් ප්‍රකාශයක් සිදු කර ඇති බව මාධ්‍ය වලින් අප දැන ගතිමු.

ඒ ඒ ආගම් සඳහා ඒ ඒ සංස්කෘතික ලක්ෂණයන් අනුගමනය කරන උදවිය සැලකිල්ලට ගෙන පිළිගත් සම්ප්‍රදායන් අනුව සකස් කර ඇති නිල ඇඳුම වෙනස් වන්නේ නම්, ඒ පිළිබඳව අප එකඟ නොවෙමු. මේ මතය මත, කවරෙකු හෝ හෙද සාත්තුවද වෙනස් කළ යුතු යැයි යෝජනාවක් ගෙන ආවොත් එය ද කල යුතුව ඇත.

කෙසේ වෙතත් දැනට පිළිගත් ප්‍රතිපත්තියක්ව පවතින ශ්‍රී ලංකා සංස්කෘතියට ගැලපෙන නිල ඇඳුම වෙනස් කරනවාට වඩා පුර්ණ හෙද පිළිවෙත් අංග සම්පූර්ණව කල නොහැකි බාධාවන් ඉවත් කොට කාර්‌යක්ෂම හෙද සේවාවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඌනතාවයන් සපුරාලීම මේ සමයේ ඉතා වැදගත් බව අප පෙන්වා දෙමු.

එබැවින් කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමක් වශයෙන් නිල ඇඳුම වෙනස් කරන්නේ නම්, ඊට පෙර සංගමය සමඟ සාකච්ඡා කොට නිගමනයකට එළඹෙන ලෙස මින් දන්වා සිටිමු.

Previous Post Next Post