ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලු දෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවක් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍ය හමුවේ පැවැසිය.
පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළයුතු බවත් මහාචාර්යවරයා කියා සිටියේය.
ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් ඊයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී මහාචාර්‌ය වරයා එසේ කීය.
ලිංගික ශ්‍රමිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතු බව ද මහාචාර්යවරයා කියා සිටියේය. ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන කාන්තාවන්, පුරුෂයින් යම් පිළිගැනීමකට ලක්කළ යුතු බවද හෙතෙම කීය.
මෙම මාධ්‍ය හමුවේදී කතා කළ වෛද්‍ය හරිස්චන්ද්‍ර පනන්දාවල මහතා පැවසුවේ මේ වන විට ලිංගික ශ්‍රමිකයින් සියයට 95 ක්ම කොන්ඩම් භාවිත කරන බවය.
එබැවින් මේ වන විට ලිංගික ශ්‍රමිකයින් බොහෝ දෙනකු ආරක්ෂිත ක්‍රම භාවිත කරන බවත්, එබැවින් සමාජ රෝග ද අඩු වී ඇති බවත් හෙතෙම කීය.
පෙර පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ප්‍රාථමික අංශයේ අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ඊට ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙන වෙනම ලිංගික අධ්‍යාපනය ඉගැනවිය යුතු කාලය එළැඹී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
බොහෝ පාසල් දරුවන් ලිංගික අවයව ගැන, ලිංගික ක්‍රියාවලිය ගැන දැනුවත් නොමැති බවද ඒ මහතා කීය.
මෙහිදී කතා කළ ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් මහතා සඳහන් කළේ ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන් කිරීම හා නොසලකා හැරීම නොමැතිව සමාජගත කිරීම සඳහා සියලු දෙනා හැඩ ගැසිය යුතු බවය.
දැනටමත් තම පදනම කොළඹ, කුරුණෑගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ලිංගික ශ්‍රමිකයින් දස දහසක පිරිසක් සමග වැඩකටයුතු කරගෙන යන බවද ඒ මහතා කීය.
පුදීන් පුසන්න සමරකෝන්
ධර්මාසේන වැලිපිටිය
