2024ට සාපේක්ෂව 2025දී ලංවිමට බිලියන 13.2ක අලාභයක්..


සාලිය කුමාර ගුණසේකර

ඉකුත් වසරේ (2024) පළමු මාස හයේදී රුපියල් බිලියන එකසිය දහනවයයි දශම දෙකක ලාභයක් ඉපැයූ ලංකා විදුලි බල මණ්ඩලය මෙම වසරේ පළමු මාස හයේදී රුපියල් බිලියන දහතුනයි දශම දෙකක අලාභයක් වාර්තා කිරීම හේතුවෙන් රාජ්‍ය ව්‍යවසාය අංශයේ සමස්ත ලාභදායිත්වය සැලකියයුතු ලෙස සීමාවී ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2025’ හි සඳහන්ව ඇත.

ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 මගින් ඉකුත් වසරේ පළමු මාස හයේදී රුපියල් බිලියන දෙසිය අසූවයි දශම හතක සමස්ත ලාභයක් වාර්තා කර ඇති අතර ඊට සාපේක්ෂව මේ වසරේ සමාන කාල පරිච්ඡේදයේදී රුපියල් බිලියන දෙසිය විසිහතයි දශම අටක ලාභයක් වාර්තා කර ඇතැයි ද අදාළ වාර්තාවේ දැක්වේ.

තවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ සේවක භාරකාර අරමුදල් මණ්ඩලයේ කාර්ය සාධනය වැඩිවීම මගින් ඉකුත් වසරේ (2024) පළමු මාස හයට සාපේක්ෂව සාමූහිකව රුපියල් බිලියන 16කට ආසන්න අතිරේක ලාභයක් එකතු කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකුණුම් පිරිවැය මෙම වසරේ පළමු භාගයේදී රුපියල් බිලියන තුන්සිය හැත්තෑහතයි දශම නවයක් දක්වා සියයට දහනවයයි දශම දෙකකින් (19.2%) අඩුවී ඇත. එම සංස්ථාවේ විකුණුම් පිරිවැය ඉකුත් වසරේ පළමු භාගයේදී වාර්තා වූයේ රුපියල් බිලියන හාරසිය හැට හතයි දශම හතක් වශයෙනි.

Aruna

Previous Post Next Post