ආණ්ඩුව ආවේ අරගලයක ප්‍රතිඵලයක් විදිහට.. ඊළඟට රාජ්‍ය සේවය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා...- ලාල් කාන්ත


ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්,  කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එහිදී ‘එක මිටට - ගොවි බිමට’ ජාතික වැඩසටහන මෙම වසර තුළ ක්‍රියාත්මක වූ ආකාරයත්, එහි ප්‍රගතිය පිළිබඳවත් කරුණු සාකච්ඡා විය. විශේෂයෙන් දිස්ත්‍රික් භාර ගොවිජන කොමසාරිස්වරු විසින් අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී මුහුණ පෑ ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයාව දැනුම්වත් කරන ලදී.

මෙහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ ක‍ළේය.

“දේශපාලන පරිවර්තනයක් වෙනකොට රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව ආවේ ජනතා අරගලයක ප්‍රතිඵලයත් විදිහට. ජනතාව දේශපාලන පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට රාජ්‍ය සේවය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා රටේ ජනතාවට. අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ගැලවුම්කාරයාය කියන, සතුටු හි‍තෙන ආයතන විදිහට අපි මේ ආයතන ගොඩනඟමු.

රාජ්‍ය සේවයට ලොකු ගෞරවයක් තිබුණා අපි පොඩි කාලේ. 2022 අරගල සමය එනකොට ඒ ගෞරවය නැතිවෙලා තිබුණා.  ඒ නිසා අපි රාජ්‍ය සේවකයා කියන කෙනා ගෞරව සම්පන්න පිළිගැනීමක් තියෙන කෙනෙක් බවට පත්කරමු. නිලධාරීන් හම්බවෙන්න ගියාම අපේ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ආදරණීය ආයතන බවට පත්කරමු. 

වැව් සම්පූර්ණයෙන් විනාශ වෙනකන් කොහොමද හිටියේ කියලා හිතෙනවා. පොඩි තැනකින් ඉවර කරගන්න පුළුවන් දේ විශාල වෙනකන් ඉන්නේ නැතුව කරලා ඉවර කරමු. හැමෝම ඉන්නේ පීඩනයක. ගැටළු විසඳීමේදී රාජ්‍ය නිලධාරීන් එක්ක රණ්ඩු කරලා ඒවා විසඳන්න බැහැ. අපි හැමෝම එකතු වෙලා අපේ ආයතන ආදරණීය ආයතන බවට පත්කරමු.”

මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

Previous Post Next Post