ලුණම සමූහ - සනත් ගමගේ
ජංගම වෙළෙඳාම් සිදු කිරීමට අම්බලන්තොට ප්‍රාදේශීය සභාව මඟින් පසුගිය පාලන සමයේ දී තිබූ අත් කරත්ත වෙළෙඳාම් කටයුතු නොකර ළඟ තබා ගැනීම හේතුවෙන් සභාවේ නිලධාරීන් යොදවා එම අත් කරත්ත 10ක් යළි සභාව භාරයට ගත් බවත් ඒවා ස්වයං රැකියා කරන අයට ටෙන්ඩර් කැඳවා ලබා දීමට පියවර ගන්නා බවත් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති විපුල විජයදාස මහතා (ජා.ජ.බ.) පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ඔක්තෝබර් මාසික සභ රැස්වීමේදීය. සභාපති විපුල විජයදාස, උප සභාපති සුරංග සංජීව සහ ලේකම් නදීකා දිල්හානි මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම පැවැත්විණි.
මෙහිදී වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන සභික මහත්ම මහත්මීහු කළු පටි පැලඳ සභාවට පැමිණ සිටි අතර සභාපතිවරයා ද ඊට ශෝකය පළ කර විනාඩියක නිශ්ශබ්දතාවක් ද පවත්වන ලදි.
එහිදී ජේ.පී. නිමල් රංජිත් මහතා (ජා.ජ.බ.) කියා සිටියේ පසුගිය සමයේදී වෙළෙඳාම් කිරීමට අත් කරත්ත 40ක් හිතවත්කම් මත දී තිබූ බවත් ඊට සභා අරමුදලින් දෙලක්ෂ හතළිස් අටදහස් හත්සීයක් වියදම් කර ඇති බවත්ය. තවද මේ සඳහා වැය කළ මුදලවත් තවම ලැබී නැති බවත් බොහෝ කරත්ත වෙළෙඳාමට නොගෙන අතහැර ඇති බවත් කියා සිටියේය. 2018දී මේ අත් කරත්ත දී තිබෙන බවත් මුල් අයිතිකරුවන් වෙනත් අයට රු. 3000ත් – 4000ත් අතර මුදලකට බදු දී ඇති බවත් ඉන් සභාවට අය වන්නේ රු. 500ක පමණ මුදලක් බවත් මේ කරත්තවලට නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් රංජිත් මහතා පැවසීය.
ඊට පිළිතුරු දෙමින් ඒ.පී. චන්ද්‍ර කුමාර මහතා (එ.ජා.ප.) කියා සිටියේ අත් කරත්ත දීම ගැන පසුගිය සභාවේ ගැටලු තිබුණු බවත් ඇතැම් කරත්ත ලබා ගත් අය අදටත් වෙළෙඳාම් සාර්ථකව සිදු කරන බවත්ය. තවද වෙළෙඳාම් නොකරන අයගේ කරත්ත ලබාගෙන ටෙන්ඩර් කැඳවා වෙනත් අයට ලබා දෙන ලෙසට ද යෝජනා කර සිටියේය. මෙහිදී සභාපති විපුල විජයදාස මහතා (ජා.ජ.බ.) කියා සිටියේ දැනට කරත්ත 10ක් සභාවේ නිලධාරීන් මාර්ගයෙන් සභාවට ගෙන්වා තිබෙන බවත් තවත් ප්‍රයෝජනයට ගන්නේ නැතිව තිබේ නම් ඒවා ද රැගෙනවිත් ටෙන්ඩර් කර ලබා දීමට ද යෝජනා කරන බවත්ය.
උප සභාපති සුරංග සංජීව මහතා (ජා.ජ.බ.) පැවසුවේ අම්බලන්තොට නගරයේ නගර ශාලාවක් ඉදිකිරීමට තිබෙන බිම් කොටස සභාවට අත්පත් කරගැනීමට වටිනාකම ගෙවිය යුතු බවත් රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන බවත්ය. නොගෙවා සිටින කාලයට පොලිය අය වන බවත් රූඩ් 2ක කොටසට එකල සභාවේ සිටි අය විරෝධතාවක් නොදැක්වූ නිසා වගඋත්තරකරුවන්ට හිමි වුණු බවත් දැන් ගැටලුසහගත තත්ත්වයක් මතුව තිබෙන බවත් සුරංග සංජීව මහතා පැවසීය.සභාපති විපුල විජයදාස මහතා (ජා.ජ.බ.) ලුණම ආදාහනාගාරය තක්සේරු කිරීමට අවශ්‍ය බවට යෝජනාවක් ගෙන ආ අතර ඊට ජයනාත් ගමගේ මහතා (ජා.ජ.බ.) මහතා කියා සිටියේ ලුණම ආදාහනාගාරයට ඇතුළු වූ විට මැරෙන්නවත් හිතෙන්නේ නැති තරම් අපිළිවෙළ තැනක් බවට පත්වී ඇති බවයි. ඊට යළිත් පිළිතුරු දෙමින් සභාපති විපුල විජයදාස මහතා (ජා.ජ.බ.) පවසා සිටියේ ලුණම ආදාහනාගාරය තක්සේරු කිරීමට අවශ්‍ය බව තමා යෝජනා කළ බවත් අඩු පාඩු ගැන කතා නොකළ බවත්ය.
ආර්.පී. චන්ද්‍ර කුමාර මහතා (එ.ජා.ප.) හුංගම නගරයේ පාසල් දරුවන්ට සෙවණක් වූ කොහොඹ ගස කපා ඉවත් කර ඇති බවත් හදිසි ආපදා යටතේ ගස කපා ඉවත් කළ බවට හුංගම නගරයේ කිසිවකු නොදන්නා බවත් කියා සිටියේය. තවද මේ විශාල කොහොඹ ගස කාගේ අවශ්‍යතාවට කැපුවේ ද? එහි දැව රැගෙන ගියේ කවුරුන්ද යන්න කිසිවක් නොදන්නා බවත් කීය. ඊට පිළිතුරු දෙමින් ජයනාත් ගමගේ මහතා (ජා.ජ.බ.) කියා සිටියේ කොහොඹ ගසේ මුල්වලින් යාබද වෙළෙඳසලකට හානි සිදු වන බැවින් අදාළ අංශ දැනුම්වත් කර ගස ඉවත් කළ බවය.
එහිදී උප සභාපති සුරංග සංජීව මහතා (ජා.ජ.බ.) පැවසුවේ බරවකුඹුක සතිපොළ භූමිය සංවර්ධනය කිරීමට අවශ්‍ය බවත් ඊට ඇතුළුවන ස්ථාන මෙන්ම ගොවීන්ගේ පලදාව ගෙන ඒමට තිබෙන බාධා ද ඉවත් කළ යුතු බවත්ය.
එහිදී ආර්.ඩබ්. පියදාස මහතා (ශ්‍රීල.පො.පෙ.) මහතා කියා සිටියේ බරවකුඹුක සතිපොළ සංවර්ධනය කිරීම කාලෝචිත යෝජනාවක් බවය. තවද එය බරවකුඹුක ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කළ යුතු බව ද එතරම්ම වෙළෙඳුන් මේ සති පොළට පැමිණෙන බවත්ය.
