ප්‍රසන්න ඇප මත මුදා හරී..


අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරියට ඉදිරිපත් කරනු ලැබූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇපමත මුදා හැරීමට නියෝග කර තිබේ.

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හල අතර විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

2021 වර්ෂයේ දී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වර්ධන කාර්‌යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමණාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේ දී කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබා ගැනීමට හැකිව තිබිය දී මයි ඉන්ෂුවරන්ස් බ්‍රොකස් නැමැති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කරගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රු.4,750,828.72 (රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙක) ක මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙතගෙවීමට සලස්වා එයින් එම තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදු කිරීම සහ එනයින්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4,750,828.72 ක පාඩුවක් සිදු කිරීම තුළින් හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය වශයෙන් කටයුතු කළ ප්‍රසන්න රණතුංග යන අය අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2025.11.12 වන දින පෙ.ව.9.30ට පමණ අත් අඩංගුවට ගන්නා ලදි.


Previous Post Next Post