මත්ද්රව්ය ජාවාරම් කරුවන් හත් දෙනකු ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරවීමට කෑමත්ත පළ කර තිබෙන්නේ යයි මහජන ආරක්ෂක කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මැද පෙරදිග දැනට සැඟව සිටින මෙම පිරිස් වෙතින් දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවද ඒ මහතා පැවසීය.
මත්ද‍්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වී හොඳ පුරවැසින් ලෙස සමාජයේ ජීවත්වීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්වීමට කැමති බොහෝ පිරිසක් සිටින බවත් නමුත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නැති බවත් එනිසා තවදුරටත් එම කටයුතුවලම නිරත වී සිටින බවද ඔවුන් දන්වා ඇති බවද පැවසූ ඇමතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනට ඔවුන් කැමැත්ත පළකර ඇති බවද සඳහන් කළේය.
ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් රජයක් ලෙස අවධානය යොමු කිරීම සූදානම් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
