ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානය ආශ්රිත සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙය ඇතැම් පාර්ශ්වයන් ජාතිවාදී අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට යොදා ගන්නා බවට චෝදනා කළේය.
ඔහු පෙන්වා දුන්නේ, පරාජිත දේශපාලන බලවේගවලට විරුද්ධ වීමට කිසිදු සාධනීය සටන් පාඨයක් ඉතිරි වී නොමැති බවත්, ඒ නිසා ඔවුන්ගේ අරමුණ බවට පත්ව ඇත්තේ ජාතිවාදී අවස්ථාවක් නිර්මාණය කර ගැනීම බවත්ය.
ආණ්ඩුවට එරෙහිව දූෂණ, ප්රජාතන්ත්රවාදී හෝ ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන චෝදනා කළ නොහැකි බැවින්, ඔවුන් ජාතිවාදය උපයෝගී කර ගන්නා බව ජනාධිපතිවරයාගේ අදහස විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්තුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්තුමාගෙන් නිශ්චිත වාර්තාවක් කැඳවා තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.
ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ අදාළ පොතේ සටහන් කර තිබෙන්නේ ආරක්ෂාව සඳහා තමයි බුදු පිළිමය පොලීසියට වැඩම වූ බවයි. මෙම සටහන තමන් සතුව ඇති බවත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය.
බුදු පිළිමය පොලීසියට වැඩම කරවීමෙන් පසු ගැටුම් ඇතිවූයේ පොලීසිය සහ ජාතිවාදී කණ්ඩායම අතර බවත්, එය එම කණ්ඩායම්වලට තිබූ හොඳම අවස්ථාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එම නිසා නැවතත් බුදු පිළිමය එතැනට වැඩමවා අවශ්‍ය ආරක්ෂාව ලබා දුන් බව ප්‍රකාශ කළේය.
නීති විරෝධී ඉදි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැඟී ඇති අතර, වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දුන්නේ නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කරන ලෙසයි. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාද එය ඉවත් කළ යුතු බවට ස්ථාවරයක් ගෙන තිබුණි.
සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේ අභියාචනා අධිකරණයට යාම සඳහා සතියක කාලයක් ඉල්ලා තිබුණි. එම කාලය 14 වනදා ගත වී තිබියදීත්, සිද්ධිය පැනනැඟී ඇත්තේ 16 වන දින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දිසාපති කාර්යාලයේ සාකච්ඡා පැවති අතර, එහිදී ඉඩම මැනුම් කටයුතු කර, වෙරළ සංරක්ෂණයට අයිති කොටස සහ පන්සලට අයිති භූමිය වෙන්කර දීමට එකඟතාවකට පැමිණ තිබුණි. කෙසේ වෙතත්, මෙම ප්රශ්නය අධිකරණයට ගොස් තිබේ.
අලුත් ඉදිකිරීම් කිසිවක් නොකරන ලෙසත්, තිබෙන ඉදි කිරීම ඉවත් නොකරන ලෙසත්ය. නඩුව අධිකරණයට ගොස් තීන්දුවක් ලබා දී තිබියදීත්, තවත් නටන්නේ ඇයිද යන්න ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතිවාදයට ඉඩ නොදෙන බවයි. රටේ බෞද්ධ ජනතාව හෝ හින්දු, කතෝලික, මුස්ලිම් පොදු ජනතාව ජාතිවාදයට ඉඩ නොදෙන බව ඔහු සඳහන් කළේය.
යමෙකු පැරණි ජාතිවාදී නාඩගම් නැවත ඇති කිරීමට උත්සාහ කරන්නේ නම්, එය ඉතිහාසය පමණක් වන බවත්, රටේ අනාගත දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදය මත ලියවෙන්නේ නැති බවත් අවබෝධ කර ගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය
මම දැනටමත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා මොකක්ද වුණේ කියලා වාර්තාවක් එවන්න කියලා... මම වාර්තාවක් කැඳවලා තියෙනවා... ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා මේ ආරක්ෂාව පිළිබඳව මේ බුදු පිළිමය වැඩම්මෙව්වා කියන තර්කය ගෙනාවේ.... 11.40ට ත්‍රිකුණාමල ඒ අදාළ පොලිස් ස්ථානයේ මේ බුදු පිළිමය පොලීසියට වැඩම කිරීම පිළිබඳව සටහන තිබෙනවා. ඒකේ ඉතාම පැහැදිළිව තියෙනවා ආරක්ෂාව සඳහා තමයි මේ බුදු පිළිමය මෙතනට වැඩම්මෙව්වේ කියලා.
ඊට පස්සේ තියෙන්නේ මොකක්ද ? මේ බුදු පිළිමය පොලිස් ස්ථානයට වැඩම කෙරෙව්වා නම් ඊළඟට මේ ගැටුම එන්නේ පොලීසිය සහ ඔය කියන ජාතිවාදි කණ්ඩායම් අතර. ඒ නිසා තමයි නැවත එතනට බුදු පිළිමය වඩම්මවලා ඒ අවශ්‍යවන ආරක්ෂාව ලබා දීලා තියෙන්නේ.
මේකට පැරණි බලපත්‍රයක් තිබෙනවා 2014 වගේ. නමුත් කිසි සේත්ම එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස හැඳින්වුවාට මේක විහාරස්ථානයක් ලෙස මෑත කාලයේ භාවිතා වෙලා නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට. ආපන ශාලාවේ ඉදි කිරීම් පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගිලා ඒ ආපන ශාලාවේ නීතිවිරෝධී ඉදි කිරීම් තියෙනවා කියලා ඒ නීතිවිරෝධී ඉවත් කිරීම් පිලිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දිලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා.
නාගරික සංවර්ධන අධිකාරිය සමග ඊට පස්සේ පැවැති සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේ ඉල්ලා තිබුණා තව සතියක කාලයක් ලබා දෙන්න කියලා. ඒ කාලේ දෙනවා. ඒ කාලේ ගතවෙන්නේ 14 වැනිදාට. 16 වැනිදා තමයි මේ සිද්ධිය පැන නගින්නේ.. එතකොට ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුළේ තියෙන බව පේනවා. පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරස්ථානයක් තියෙනවා කියලා.. නෑ... එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.
සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලයේදී එකඟතාවක් ආවා නියමිත මිනින්දෝරුවෙක් දාලා ඉඩම බෙදලා හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණ එකට අයිති කොටස කෝකද, පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. අධිකරණය දැන් දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා තිබෙන ඉදි කිරීම් ඉවත් කරන්නත් එපා අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අදාළ වැඩකටයුතු කරන්න පුළුවන් කියලා.
දැන් ඇත්තට ගත්තොත් මේ ප්රශ්නය අවසන්. දැන් තවත් නටන්නේ ඇයි ?.. අර ජාතිවාදී කණ්ඩායම් දැන් හැම තැනම ගිනි තිය තිය යනවා. අපි ඉතාමත් ශක්තිමත්. ජාතිවාදයට නම් ඉඩ තියන්නේ නෑ. මේ රටේ පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නෙත් නෑ. ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවානම් නැවත පැරණි ජාතිවාද නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒක වර්තමානයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි."

එක කාලෙක බොරුවට සිවුරක් පොරවගෙන හැංගිලා ඉඳලා ඒ සාසනේටම කෙලින ගුණමකු කාලකන්නියෙක්.
ReplyDelete