Clean Sri lanka "සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට" නමින් රට වටා යයි...

 


සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට විශේෂ ජන සත්කාරක සේවාව ලෙස හඳුන්වන්නේ ජනතාවට බලපාන සාමාන්‍ය එදිනෙදා ගුටලු වලට විසඳුම් සොයා යන වැඩපිළිවෙලක් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට විශේෂ ජන සත්කාරක සේවාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් අප ජීවත් වන අවට පරිසරයේ ඇති කැලි කසළ බැහැර කිරීම පමණක් නොව ඊට අමතරව සමාජීය ජන ජීවිතයට බලපාන බොහෝ ගැටලු නිරාකරණය කිරීම, පුද්ගල ජීවිතය සංවර්ධනය කරගැනීම සහ ජනතාවගේ චර්යාත්මක ගුණාංග වැඩිදියුණු කරගැනීමටද මෙතුළින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම වැඩසටහනේදී මූලික වශයෙන්ම ජනතාවට අදාල සමාජීය ගැටලු යම් ප්‍රමාණයකින් ක්ෂණිකව විසඳිය හැකි ගැටලු වලට විසඳුම් සොයා දීමට, පාරිසරික කරුණු පිළිබඳව ජනතාවගේ අවධානය යොමුකර ජනතාවට පරිසර සංරක්ෂණය, පරිසරයත් සමග අන්‍යෝන්‍ය වශයෙන් ගැටුම් ඇති නොවන ආකාරයට ජීවත් වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පරිසර සංරක්ෂණයට අදාල යම් යම් වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ආචාර ධාර්මික වශයෙන් වැදගත් වන සමාජ ක්‍රියාකාරම්, සංස්කෘතික වැඩසටහන් වැනි දේවල් ක්‍රියාත්මක කිරීමද සිදුවන බව පැවසුවේය.

සමාජීය, පාරිසරික සහ ආචාර ධාර්මික යන ක්ෂේත්‍ර යටතට ගැනෙන ඕනෑම වැඩසටහනක් මෙම වැඩසටහන තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇතැයිද මෙම ක්‍රායාවලිය තුළ සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සමාජ සංවර්ධනය සදහා අවශ්‍ය කරන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.

ඒ අනූව ජංගම සේවා වැඩසටහන් මගින් ප්‍රමාද වූ අත්‍යවශ්‍ය මහජන සේවාවන් ජනතාවට ලබාදීමට අපේක්ෂිත බවද එනම් අත්‍යවශ්‍ය මූලික ලිපි ලේඛන නොමැති සීමිත ප්‍රජාවක් හෝ සිටින අතර ඇතමුන්ට උප්පැන්න සහතික, බැංකු ගිණුම්, හැඳුනුම්පත් නොමැති බවද අවධාරණය කළේය.

මෙවැනි ගැටලු ඇති සීමිත පිරිසක් හෝ සිටින බැවින් ඔවුන්ට අවශ්‍ය කරන මෙම මූලික ලිපි ලේඛන හෝ සකස් කර දීම සඳහා මෙම ජංගම සේවා වැඩසටහන් අරඹන බවද මෙවැනි ගැටලු නිරාකරණය සදහා අවශ්‍ය කරන සහයෝගය ලබාදීම රජයේ පාර්ශවයෙන් සිදුකරන බවද සදහන් කළේය.

සෞඛ්‍ය සේවා වැඩසටහන් යම් යම් සායන පැවැත්වීමද මේ යටතේ සිදුකළ හැකි බව පැවසූ අමාත්‍යවරයා ජනතාවගේ ඇති සෞඛ්‍ය ගැටලු නිරාකරණය කරගැනීම සදහා අවශ්‍ය කරන පාර්ශව මැදිහත් කරගෙන සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ ක්‍රියාකාරකම්ද මෙම වැඩසටහන තුළ පවතින බව වැඩඩිදුරටත් පැවසුවේය.

පරිසර සංරක්ෂණ වැඩසටහන් යටතේ දැනුවත්කිරීමේ වැඩසටහන්, රුක්රෝපණ  වැඩසටහන්, අලි මිනිස් ගැටුමට අදාලව මිනිසා සහ පරිසරය අතර ඇති ගැටුම් අවම කරගැනීම පිළිබදව දැනුවත් කිරීම් ආදී විශාල පරාසයක් පුරා පැතිරුණු පාරිසරික වැඩසටහන්ද දියත් කරන බව පැහැදිලි කළේය


Previous Post Next Post