සෑම නගරයකම Coop City දානවා..- වසන්ත

 


සමූපකාර ක්‍ෂේත්‍රයේ ගැටලු සාකච්ඡාකිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරුන්, පළාත් සමූපකාර අමාත්‍යංශය ලේකම්වරුන්, පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් 19.11.2025 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්විණි 

එහිදී අදහස් දක්වමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සියලු පාරිභෝගික සේවාවන් එක් ස්ථානයකින් සංතෘප්ත කර ගත හැකි කෝප් සිටි (Coop City) ප්‍රධාන නගර වල ස්ථාපනය කිරීමට කටයුතු කරන බව පැවසීය.

ඒකීය සන්නාමයක් යටතේ සමුපකාර නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක් සකස් කිරීම මෙන්ම ප්‍රාදේශීය වෙළඳසැල් මිනි කෝප් සිටි ලෙස පරිවර්තනය කර ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මෙම රැස්වීමේදී සමූපකාර සමිති වල වර්තමාන තත්ත්වය, පවතින ගැටලු හා ඒවා නිරාකරණය කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී සමූපකාර සමිතිවල විශාල මූල්‍ය වංචා සිදුව ඇති බව පෙන්වා දුන් ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරියේදී එම තත්ත්වයන් සිදුවීම වලක්වා ගැනීම සඳහා පළාත් සමූපකාර වල විගණන අංශ ශක්තිමත් කලයුතු බව පැවැසීය. මෙහිදී පැමිණි නිලධාරීහු සමූපකාර සමිතිවල සභාපති ධුරය දරන කාල සීමාව සංශෝධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. ඒ අනුව සමූපකාර සමිතිවල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ධූර දරන කාල සීමාවන් සඳහා යම් සීමාවන් පැනවීමෙන් සිදුවන දූෂණ සහ ආක්‍රමිකතා මගහරවා ගැනීමට හැකි වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීහු පැවැසුහ.

ඇතැම් සමුපකාර සමිති වල තැන්පතු හා ණය සඳහා අධික පොලියක් අය කිරීම, ලියාපදිංචි කළ සමුපකාර සමිති ලියාපදිංචි කිරීමේ අරමුණින් බැහැරව පෞද්ගලික ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාම සහ සමුපකාර සමිතිවල ඉඩම් හා දේපළ වෙනත් පුද්ගලයන් විසින් අත්පත් කර ගැනීම ආදී ගැටලු පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

ඒ අනුව සමූපකාරවල පවතින සියලු ගැටලු නිරාකරණය කරගනිමින් ඒවා සමූපකාර මගින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ සැළසුම් කිහිපයක් සකස් කර ඇති බව ගරු අමාත්‍යවරයා පැවසීය. එහිදී ප්‍රධාන නගර වල ස්ථාපනය කිරීමට අපේක්ෂිත කෝප් සිටි (Coop City) මගින් සමුපකාර නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් සමුපකාර සමිති සඳහා ණය ආධාර ලබා දීමේ දී සමුපකාර සංවර්ධන අරමුදල මගින් කෝප් සිටි නගා සිටුවීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමටද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසුවේය. එමෙන්ම සියලුම පළාත් සභා සඳහා පොදු සමුපකාර ප්‍රඥප්තියක් මෙන්ම සියලුම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා සඳහා පොදු නෛතික රාමුවක් සකස් කිරීමටද සැළසුම් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.

1 Comments

  1. සතොස දම්මිකට දෙද්දි මොකක් හරි පේන්න තියෙන්නත් එපැයි.. නේද

    ReplyDelete
Previous Post Next Post