GMOA වෛද්‍ය වර්ජනය තීව‍්‍ර කරයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු සහා සාධනීය විසුම් අයවැය ඔස්සේ ප්‍රකාශයට පත් නොවේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මිළ අදියර දක්වා තවදුරටත් තිව්‍ර කිරීම.

මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය මානව සම්පත් අර්බුදය, ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවාවන් සැපයීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ රෝගීන්ට අවශ්‍ය මූලික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් පවතින තත්ත්වයෙන්ම ඉදිරියට පවත්වා ගැනීම පවා දැඩි අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.

ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුතු පාර්ශව දැනුවත් කරමින්, එම ගැටලු විසඳීම සඳහා තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදී.

එවන් පසුබිමක, අයවැය - 2026 තුල ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය සේවාවට සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවම සාධාරණයක් හෝ ඉටු කිරීමට අසමත් වී තිබීම හේතුවෙන් රෝහල් පද්ධතියේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්වයක් ඇති කර තිබේ.

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන්, නිශ්චිත කාල රාමුවක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබියදීත්, ඒ වෙනුවෙන් සාධනීය පිළිතුරක් ලබාදීමට වගකිවයුත්තන් අපොහොසත් වීම තුළ, වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් ප්‍රකාශයට පත්කිරීමට  රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට සිදු විය.

පසුගිය සඳුදා (2025.11.17) දිනයේදී, ගරු ජනාධිපතිතුමන් සමඟ පැවති සාකච්ඡාවේදී අප යෝජනා සමග ජනාධිපතිතුමා එකඟ වූ අතර, එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීම අපගේ ඉල්ලීම විය.

මේ සම්බන්ධයෙන් ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යතුමා සමඟද සාකච්ඡාවක් පැවැත්වින.

එහෙත් මේ වනතෙක් මෙරට  වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන්, විශ්වාස කල හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැත

හෙට දිනයේදී (2025.11.22) අයවැය තුන්වෙනි වර කියවීමේ, සෞඛ්‍ය අමාත්‍යාංශ කාරක සභා විවාදය පැවැත්වෙන අතර, මෙම ගැටලු විසඳීම සම්බන්ධයෙන් පැහැදිලි විසඳුම් මාලාවක් කාල රාමුවක්ද සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

එහෙත් තවදුරටත් මෙම ගැටලුව විසඳීම හුදු ප්‍රකාශ හෝ වාචික පොරොන්දු වලට පමණක් සීමා කිරීමට වගකිවයුත්තන් උත්සහ කරන්නේ නම්, පවතින වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමටද සිදුවනු ඇත.

මේ වන විට පවතින ප්‍රවණතාවයන් විධායක සභාව විසින් සමීපව නිරීක්ෂණය කරමින් පවතින අතර, ඉදිරි ප්‍රවණතාවයන් විශ්ලේෂණය කරමින් සහ තත්ත්වය සමාලෝචනය කරමින්, වෘත්තිය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සම්බන්ධයෙන් 2025.11.26 දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ  සංගමයේ මධ්‍යම කාරක සභාවේදී  ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

මෙරට වෛද්‍යවරුන්ට සහ නිදහස් සෞඛ්‍ය සේවාවට සාධාරණය ඉටු කිරීමට පාලකයන් අසමත් වන්නේ නම්, ඉදිරියේදී වඩා තීව්‍ර සහ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට සිදුවනු ඇති අතර, එහි සියලු වගකීම මෙම ගැටලුව විසඳීමට අසමත් වූ වගකිව යුත්තන් අනිවාර්යෙන්ම භාරගත යුතුය.

1 Comments

Previous Post Next Post