කුණාටුව නිසා ආර්ථික වේගය අඩු කරන්නේ නෑ.. දිගටම 7%ක් බලා යනවා..


විමුක්ති එස් රුද්‍රිගු

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැදිකාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වෙනස් නොකරන බවත් මැදි කාලීනව සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය.

සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගං වතුර සහ නායයෑම් වලින් සිදුවූ දැඩි හානිය හේතුවෙන් තත්වය වෙනස් වී තිබෙන බවත් වත්මන් තත්වය අනුව ගන්නා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය. නමුත් සියයට 7 ක රජයේ මැදි කාලීන ආර්ථික වර්ධන ඉලක්කය නොවෙනස්ව පවතිනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වී ඇත්තේ එක ප්‍රජාවක් බවත් මෙරට ඇතිවූ සෑම අර්බුදයකදීම එම පුද්ගල කොට්ඨාශය පීඩා විඳ ඇති බවත් ඇය පැවැසුවාය. එකම ප්‍රජාවක් මෙලෙස සෑම අර්බුදයකදීම පීඩා විඳීම අහඹු සිදුවීමක් නොවන බවත් දිට්වා සුළි කුණාටුව මෙම ප්‍රජාව පීඩාවට පත් කිරීම සඳහා තෝරා ගෙන නොමැති බවත් ඇය කීවාය.

ඉතිහාසයේ ක්‍රියාත්මක කළ සැලසුම් සහ ගත් තීරණ ප්‍රජාවන්ට මෙම ඉරණම අත්කර දී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. කොළඹට ඇති වූ ගංවතුර තත්වයෙන් 90,000 ක පිරිසක් අවතැන් වී ඇති බවත් කොලොන්නාව ද්‍රෝණිමය ප්‍රදේශයක් බැවින් පදිංචි වීමට සුදුසු නැති බවත් ඇය ප්‍රකාශ කළාය.

නැවත පුබුදමු ශ්‍රී ලංකා යටතේ නැවතත් මෙරට තිබූ තැනට රැගෙන යාමට නොව ඊට වඩා හොඳ තත්වයකට රැගෙන යාමට රජය බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී සාක්ෂි මත පදනම්ව සැලසුම් සහ තීරණ ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය. දේශපාලනික හා පුද්ගලික න්‍යාය පත්‍ර මත තීරණ ලබාගත නොහැකි බව අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය.

නිවැරදිව තීරණ ගත යුතු බවත් රට රැගෙන යන තැන පිළිබඳව දැක්මක් තිබිය යුතු බවත් ඇය සඳහන් කළාය. එම දැක්මට අනුව කටයුතු කළ යුතු බවද ඇය පැවැසුවාය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය ඇස්තමේන්තු කිරීම සඳහා රජය ලෝක බැංකුවේ සහාය ලබාගෙන තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය. ඉදිරි සතිවලදී සුළි කුණාටුවෙන් ඇති වූ හානිය සහ පිළිසකර කිරීමට යන මුදල පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

අපදාවෙන් මෙරටට සිදුව ඇති හානිය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස බවත් දෛනික කටයුතු නැවත යථා තත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛතාව දෙනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඇතැම් දිස්ත්‍රික්කවල සාමාන්‍ය ජන ජීවිතයට ඉතාමත් ඉක්මනින් පැමිණිය හැකි බවත් ඇතැම් දිස්ත්‍රික්කවලට සිදුව ඇති හානිය ඉහළ බවත් ඇය කීවාය.

නැවත පුද්ගලයන් නිවාසවල පදිංචි කරවීමට, පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීමට රජය ප්‍රමුඛතාව දෙනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. නිවාසවල හානිය අනුව මුදල් ප්‍රදානයක් ලබා දීමට සළකා බලමින් සිටින බවත් ඇතැම් නිවාස සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් ඇය පැවැසුවාය.

සුළි කුණාටුවෙන් සිදුවූ විදුලිය විසන්ධි වීම් බොහොමයක් නැවත යථා තත්වයට පත්කර තිබෙන බවත් තවමත් නුවර ඇතැම් ප්‍රදේශවල සහ බදුල්ල, නුවරඑළි දිස්ත්‍රික්කවල විදුලිය යථා තත්වයට පත් කිරීමට තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

අධික වර්ශාපතනයත් සමග බොහෝ කුඹුරු ජලයෙන් යටවී තිබෙන බවත් මහ කන්නය ආරම්භය බැවින් නැවත වී වගාව යථා තත්වයට පත් කිරීම සඳහා බිත්තර වී ගෙන්වීමට සිදුවන බවත් ඇය සඳහන් කළාය. එසේම ආහාර පිරිවැය පාලනය කිරීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව පසුගියදා රැස්වූ බවත් ආහාර පිරිවැය පාලනය කිරීම සඳහා ආනයන රෙගුලාසි ලිහිල් කිරීමට සළකා බලමින් සිටින බවත් ඇය පැවැසුවාය.

එසේම එළවලු වගාවටද දැඩි වර්ෂාපතනයෙන් විශාල හානියක් සිදුව තිබෙන බවත් ගොවීන්ට මෙන්ම එළවලු වගාකරුවන්ටද වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැති ආර්ථික සමුළුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළාය. ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම ආර්ථික සමුළුව සංවිධානය කර තිබිණි.


4 Comments

  1. Big talk as usual. We saw how your govt allowed Ditwa to do the maximum damage and deaths. Please be humble enough to accept your failure and stop 🛑 turning everything towards defeated parties. Nobody made any traps to down you but you all were experts in making troubles to all former rulers.

    ReplyDelete
  2. 2025 අවසානයෙ-
    ප්‍රශ්නය-
    ඔබ කිව්ව නේද 7% ආර්තික වර්දනයක් ලබාගන්නව කියල. නමුත් ආර්තික වර්දනය 2% ටත් අඩුයිනෙ. කොහොමද ඒක පහෑදිලිකරන්නෙ

    පිලිතුර-
    ඕගොල්ල හොදට තේරුම් ගන්න මොකක්ද අපි කිව්වෙ කියල. 7% කිව්ව අපේ ඉලක්කය විතරයි. ඒකට යන්න බෑ වුනේ අපේ වරදකින් නෙවෙය්. නිලදාරින් තමයි එකට වගකියන්න ඔන.

    ReplyDelete
  3. වේගයෙන් 7 දක්වා නෙමෙයි ගියේ. 6 සිට 3 දක්වා.

    ReplyDelete
  4. #₹@ තමයී

    ReplyDelete
Previous Post Next Post