සහනාධාර අවුලක්.. දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් නිවාස අඩස්සියේ..

 


අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය

වෙරුගල් ප්‍රදේශයේ ජල ගැලීම් වලින් බලපෑමට ලක් වූ ජනතාවට බෙදාදීමට මන්ත්‍රිවරයකු ගෙනා මදුරුදැල් තොගයක් ඒ සඳහා ප්‍රමාණවත් නොවීම මුල් කරගෙන ඇති වූ ප්‍රශ්නයක් මත (13) පස්වරුවේ එම ගම්වැසියෝ වෙරුගල් ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයීය අඩස්සියට ගෙන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 

පසුව ඒ පිළිබඳ සොයා බැලීමට ගිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාට ද එම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවිය. මෙම මදුරුදැල් බෙදාදීම සිදුවූයේ වෙරුගල් ප්‍රාදේශීය සභාවේදීය. 

ඒ ගැන සොයා බැලීමට ගිය ප්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඩ් අනාස් එහි ගොස් ඇති අතර එහිදී එම මදුරුදැල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතිවූ විරෝධය හමුවේ ඔහු පවසා ඇත්තේ මෙයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

අනතුරුව ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය පසු ගම්වාසීහු පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරගෙන විරෝධතාවක නිරතවූහ. එම අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව කඩාගෙන දහසකට වැඩි පිරිසක් එම කාර්යාලයීය ප්‍රධාන පරිශ්‍රයට කඩා වැදුණහ. 

පසුව පිරිස එහි කාර්ය මණ්ඩලයට හා ප්‍රාදේශීය ලේකම්වරයාට පිටතට පැමිණීමට ඉඩ නොදී පැය කිහිපයක් සිර කරගෙන විරෝධතාව දැක්වීම නිසා වහාම එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීය.

අදාළ සිද්ධිය සැලවීමත් සමග ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ කරුණු විමසීමෙන් පසුව ප්‍රදේශවාසීහු ඔහුට ද පිටතට පැමිණීමට ඉඩ නොදී සිර කරගෙන විරෝධය දැක්වූහ.

අනතුරුව මේ සම්බන්ධයෙන් කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්. සංජීව බණ්ඩාරට දැනුම්දීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා හා කාර්ය මණ්ඩලය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිටතට ගන්නා ලදි.

විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහනාධාර වැඩපිළිවෙළ විවේචනය කරමින් විවිධ චෝදනා නැගූ අතර පසුව දිස්ත්‍රික් ලේකම්වරයා රැස්ව සිටි පිරිසට කරුණු පැහැදිලි කර දෙමින් සියලුම දෑ සාධාරණව බෙදී ගොස් ඇති බව පැවසීය.

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිටතට පැමිණි ප්‍රාදේශීය ලේකම්වරයා සිය රාජකාරියට බාධා කිරීම හා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ඊච්චලන්පත්තු පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළේය.

මේ සම්බන්ධයෙන් විමසීමේදී දිස්ත්‍රික් ලේකම් ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර පැවසුවේ සහනාධාර වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව නැගූ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රාදේශීය ලේකම්වරයා දින 17ක් නිවෙසට නොගොස් කාර්යාලය පරිශ්‍රයේ රැඳී සිටිමින් රාජකාරිය සිදුකළ බවත් තමන් එම ප්‍රාදේශීය ලේකම්වරයාගේ කිසිදු අඩුපාඩුවක් නොදුටු බවත් කී හෙතෙම මෙහි ඇත්තේ වෙනත් කිසියම් අරමුණක් බවද පැවසීය.

- Aruna

Previous Post Next Post