කොලඹ වරාය අසල බොරතෙල් කාන්දුවක්..

 


කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බොරතෙල් ගොඩබෑමේ බෝයාව අසලදී, MT ASP Avana නෞකාවෙන් තෙල් ගොඩබෑමට යාමේදී නලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් බොරතෙල් විසිරීම සිදුවී ඇත.

බොරතෙල් විසිරීමක් වාර්තා වීමෙන් පසුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC), ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සමඟ එක්ව එම තෙල් මුහුදු ජලයෙන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී. 

එම කටයුතු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (SLCG) "සමාරක්ෂා " නෞකාව මගින් සිදු කරමින් පවතී.

ඒ අනුව, විසිරුණු තෙල් පුද්ගලික අංශ ඇතුළු ඉහත සඳහන් ආයතන සමග එක්ව විශාල ප්‍රමාණයක් එකතු කරගැනීමට හැකි වී තිබේ. 

එම එකතු කරන ලද තෙල්, තෙල් පිරවීමේ පහසුකම් සහිත යාත්‍රා මගින් ගොඩබිමට ගෙන ඒමට කටයුතු කර ඇත. ඉතිරි සුළු තෙල් ප්‍රමාණය ද එකතු කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, ඒ සඳහා පුද්ගලික අංශයේ යාත්‍රා සහයද ලබාගෙන ඇත.

ඒ අනුව, සිදුවීම වී ගතවූ පැය 08ක පමණ කාලය තුළ මෙම තෙල් විසිරීම පාලනය කිරීමට හැකියාව ලැබී ඇති අතර, මේ සිදුවීම හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, මත්ස්‍ය සම්පතට හෝ වෙනත් මුහුදු ජීවීන්ට බලපෑමක් නොමැත. එසේම, ධීවර ජනතාවට හෝ වෙරළ ආසන්නයේ වෙසෙන ජනතාවටත් කිසිදු බලපෑමක් සිදු නොවේ.

මෙම බොරතෙල් විසිරීම තවදුරටත් නිරීක්ෂණය කිරීම සහ (මේ වන විට පැතිර ගිය සහ ඉදිරියේදී පැතිරයාමේ ස්වභාවය) හඳුනා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහාය මේ වන විට ලබාගෙන ඇත.

එසේම, මේ වන විට ප්‍රදේශයේ පවතින සාගර ජල තරංග සහ සුළඟේ දිශාව අනුව තෙල් විසිරීම ශ්‍රී ලංකා ගොඩබිම් කලාපයෙන් ඉවතට යාම නිරීක්ෂණය වන අතර, එම තත්ත්වයේ වෙනසක් ඇති වුවහොත් ඒ පිළිබඳව ඉදිරියේදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දීමට කටයුතු කරනු ඇත.

Previous Post Next Post