කුණාටු ආපදාවේ ලෝක ආධාර සමුළුව කොට උඩ...

 


පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

දිට්වා කුනාටුව විසින් ශ්‍රී ලංකාවට කර තිබෙන විනාශය පිළිබඳ දැනට එකිනෙකට වෙනස් ඇස්තමේන්තු තුනක් ඉදිරිපත් වෙලා තිබෙනවා.  පළමු ඇස්තමේන්තුව ඉදිරිපත් කලේ අත්‍යාවශ්‍ය සේවා මහ කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා.  දිට්වා කුනාටුවෙන් සතියක් ඇතුලත ඔහු ප්‍රකාශ කල දළ ඇස්තමේන්තුවට අනුව ප්‍රතිසංස්කරණ වියදම ඩොලර් බිලියන 6ක් සහ 7ක් අතර ගණනක්.  අපි ඩොලර් බිලියන 6.5ක් කියමු.  ඊට පස්සේ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව කිව්වේ විනාශයේ වටිනාකම ඩොලර් බිලියන 4.1ක් කියලා.  ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවට අනුව ආර්ථික හානිය ඩොලර් බිලියන 16ක්.  ඒක දැවැන්ත මුදලක්.  ප්‍රතිසංස්කරණ වියදම, විනාශයේ වටිනාකම සහ ආර්ථික හානිය එකිනෙකට වෙනස් සංකල්ප තුනක්.  යම් අලෙවිසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වුණාම ඒ ගොඩනැගිල්ලේ උපකරණවල සහ බඩු තොගයේ වටිනාකම තමයි විනාශයේ වටිනාකම.  ප්‍රතිසංස්කරණ වියදම කිව්වාම නැවත ඒ ගොඩනැගිල්ල ඉදි කිරීමට යන වියදම.  ආර්ථික හානිය කිව්වාම විනාශයේ වටිනාකමට නැවත ඉදි කරන තුරු අහිමි වන ව්‍යාපාරික ලාභයත් එකතු වෙනවා.

දිට්වා කුනාටුවට මුහුණ දී මාසයක් ගත වුණත් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ දළ ඇස්තමේන්තුවට වඩා යමක් කරන්න ආණ්ඩුව අසමත් වෙලා.  ආණ්ඩුව දැන් ලෝක ආධාර සමුළුවක් පැවැත්වුවහොත් ඒකේ දී සාකච්ඡා කරන පදනම් ලේඛණය විධියට පාවිච්චි කරන්න තිබෙන්නේ ලෝක බැංකු වාර්තාව විතරයි.  ඒ වාර්තාවේ ඇස්තමේන්තුව ලංකාණ්ඩුවේ දළ ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 2.4ක් අඩුයි.  ඩොලර් බිලියන 2.4ක් කියන්නේ සුළුපටු මුදලක් නොවේ.  දැවැන්ත මුදල් සම්භාරයක්. 

ඒ විතරක් නොවේ.  ලෝක බැංකු වාර්තාවත් ආධාර සමුළුවේ දී අභියෝගයට ලක් වෙන්න පුළුවන්.  තමන් තොරතුරු ලබා ගත් මූලාශ ඒ වාර්තාවේ දක්වා තිබෙනවා.  ඒ අතරේ ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් අසත්‍ය තොරතුරු පතුරන බවට චෝදනා ලබා තිබෙන විශ්වාසනීයත්වය බිඳ ගත් රූපවාහිනි නාලිකා සහ වෙබ් අඩවි තිබෙනවා.  මේ පසුබිම යටතේ ආණ්ඩුව විසින් තමන්ගේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම අතිශයින්ම වටිනවා.  අවාසනාවට තවමත් ප්‍රතිසංස්කරණ වියදම පිළිබඳ නිල ඇස්තමේන්තුවක් හදා ගන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.  දිට්වා අවසන් වී දෙවන මාසය ගත කරද්දිත් තවමත් ලෝක ආධාර සමුළුවට දින යොදා ගැනීමට ආණ්ඩුව කල් මරන්නේ නිල ඇස්තමේන්තුව හදා ගන්න බැරිවීම නිසා.  ආණ්ඩුවට තවමත් ප්‍රතිසංස්කරණ වියදම සකසා ගන්න බැරි වුණේ ඇයි කියන එක රටට පැවසීම මුදල් ඇමති මෙන්ම ආපදා කළමනාකරණ ඇමති ලෙස ජනාධිපතිතුමාගේ වගකීමක්. 

අපි මීට කලින් ද පැවසූ අයුරින් ආණ්ඩුව කල් මරමින් ඉන්නා අතරේ ලෝකයේ වෙනත් රටක ස්වභාවික අනතුරක් වී ලෝක අවධානය ඒ රටට යොමු වුණොත් ආධාර සමුළුවක් පවත්වලා වැඩක් වෙන්නේ නෑ.  ඒ අනතුරේ හද කම්පා කරන රූපරාමු ලොව පුරා විකාශනය වන විට ලෝක ආධාර යන්නෙත් ඒ රටට.  ඒ නිසා තව දුරටත් පමා කරලා ලෝක ආධාර සමුළුව පැවැත්වීම සමාන වෙන්නේ අශ්වයා පැන ගියාට පස්සේ ඉස්තාලය වැසීමටයි.

Previous Post Next Post