වසරක වැඩිම සංචාරක පැමිණීම අද කඩයි...

 


ශ්‍රී ලංකාවේ සංචාරක ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2,333,797 ක් ලෙස සටහන් වී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. 

මීට පෙර 2018 වසරේදී වාර්තා වූ 2,333,796 ක් වූ ඉහළම සංචාරක පැමිණීමේ වාර්තාව මෙලෙස අභිබවා ගොස් තිබේ.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවති මාධ්‍ය හමුවකදී 2,333,797 වැනි සංචාරකයා ලෙස ඉන්දියාවේ තිරුවානන්තපුරම් සිට ශ්‍රී ලංකන් ගුවන් විදුලියට අයත් UL 162 දරන ගුවන් යානයෙන් පැමිණි ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහතා, රීනා ප්‍රනාන්දු මහත්මිය සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය යන පවුලේ සාමාජිකයින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සුළි කුණාටු ව්‍යසනය වැනි විවිධ අභියෝග මධ්‍යයේ වුවද මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකිවීම ක්ෂේත්‍රයේ ශක්තිමත්භාවය පිළිඹිබු කරන්නක් බව රජය පෙන්වා දෙයි. 

විදේශ විනිමය ඉපැයීම, රැකියා නියුක්තිය සහ සංස්කෘතික හුවමාරුව අතින් සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් ලෙස දිගින් දිගටම දායකත්වය සපයයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා මෙසේ පැවසීය.

"මෙම සන්ධිස්ථානය හුදු ඉලක්කම් සමුදායක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ ප්‍රබල පුනරාගමනයේ සංකේතයකි. 2018 වාර්තාව අභිබවා යාමෙන් ඔප්පු වන්නේ අපගේ සංචාරක කර්මාන්තය පෙරට වඩා ශක්තිමත් වී ඇති බවයි".

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ හෝටල් හිමියන්, මගපෙන්වන්නන් සහ විවිධ සංගම් එක්ව කටයුතු කිරීම නිසා මෙම සාර්ථකත්වය ළඟා කරගත හැකි වූ බවයි.

 ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers) ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට ලබාදුන් සහය මෙහිදී අගය කළේය

Previous Post Next Post