සිංගර් මැනේජර් ඝාතනයේ තොරතුරු රැසක් එලියට...

 


අම්බලන්ගොඩ නගරයේ පිහිටි සිංගර් ආයතනයේ කළමනාකරුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.12.30 දින දක්වා අම්බලන්ගොඩ පොලීසිය බාරයේ රදවාගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීමට රැදවුම් නියෝග ලබා දුන්නේය.

මෙසේ රැදවුම් නියෝග ලබා දුන්නේ නො. 420/1, සමගි මාවත, මහළදූව, බළපිටිය ලිපිනයේ පදිංචි රඹුක්කන ගමගේ ජනත් කාංචන (36) නැමැති අයටය.

සැකකරු, වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය අම්බලන්ගොඩ, ආදාදොල ප්‍රදේශයට රැගෙන විත් තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සැකකරු යතුරු පැදිය රැගෙන ඒමෙන් පසු මිතුරෙකුගේ නිවසට ගොස් තමා ඇද සිටි ඇදුම් පුළුස්සා දමා කොළඹ ගොස් තිබෙන බවත් කොල්ලුපිටියේ ලොජ් එකක නැවතී සිටියදි පොලීයේ අත් අඩංගුවට පත්ව තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

ආදාදොල, වතුගෙදර පදිංචි මධුරච්චාරි හසිත මධුසංක (38) නොහොත් දෙලා සහ දසුන් සුරංග මානවඩු යන දෙදෙනා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව තමා යතුරු පැදිය රැගෙන ගොස් ආදාදොල ප්‍රදේශයේ පාළු ස්ථානයක දමා ගිය බවත් සැකකරු පොලිස් ප්‍රශ්ණ කිරීමේ හමුවේ ප්‍රකාශ කර තිබේ. හසිත මධුසංක හා දසුන් සුරංග දැනට විදේශගතව සිට අපරාධ මෙහෙයවන බවට තොරතුරු තිබෙන බවත් ඔවුන් දෙදෙනා යතුරු පැදිය රැගෙන යෑම සම්බන්ධයෙන් වට්ස්ඇප් මාර්ගයෙන් උපදෙස් ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කරන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙම සැකකරු ඇදසිටි ඇදුම් පිලිස්සීම සදහා ගිය ඔහුගේ මිතුරාගෙන්ද පොලීසිය ප්‍රශ්ණ කර තිබේ. ඔහු පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා සිදුවිම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් මිතුරා පැමිණ තමාගෙන් කලිසමක් හා ටි ෂර්ටයක් ඉල්ලා ඇද ගැනීමෙන් අනතුරුව ඔහු ඇද සිටි ඇදුම් පුළුස්සා දැමූ බවත්ය. සිද්ධිය යම් ප්‍රමාණයකට දැන ගැනීමෙන් පසු තමා සිය මිතුරා නිවසින් පිටත් කර යැවූ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

පසුගිය 22 දින වෙඩිතබා ඝාතනය කරන ලද නො. 23/8, විද්‍යාල මාවත, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා (47) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමණාකරු ලෙස කටයුතු කරන හිරාන් කෝසල නැමැති අය සිංගර් ආයතනය තුලදීම වෙඩිතබා ඝාතනය කර තිබුණි. වෙඩි තැබීම සදහා වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය අම්බලන්ගොඩ කුරුඳුවත්ත, ආදාදොළ මාර්ගයේ දමා ගොස් තිබියදී එදිනම දහවල් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් අපරාධ කල්ලි දෙකක් අතර සිදුවන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබෙන බව මෙතෙක් කරන ලද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. වෙඩි තැබීමෙන් මරණයට පත් වූ අය පසුගිය පලාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාවට නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගය පක්ෂය යටතේ කරග කර තිබෙන බවද පොලීසිය කියයි. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අය අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටද පොලීසියට තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලීසිය කියයි.

ජයකාන්ත ලියනගේ  

Previous Post Next Post