ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන්, වන්දි ලබාගෙන සේවයෙන් ඉවත් වීමට අපේක්ෂා කරන සේවක පිරිස දැඩි පීඩනයකට ලක්ව සිටිති.
මෙම තීරණය සම්බන්ධයෙන් බලධාරීන් පියවර ගැනීම පමා කිරීම තමන්ට සිදුවන බලවත් අසාධාරණයක් බව එම සේවකයෝ පෙන්වා දෙති.
ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමට ලිපි ලබා දී ඇති සේවකයින් 2,173 දෙනෙකුට සිය වන්දි මුදල් නොලැබීම නිසා විදේශ රැකියා සඳහා පිටත්ව යාමට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
සේවයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන පිරිස අතර අසාධ්‍ය තත්වයේ පසුවන සේවකයින් ද සිටින අතර, වන්දි මුදල් ප්‍රමාදය හේතුවෙන් තීරණාත්මක ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට ඔවුන්ට බාධා එල්ල වී තිබේ.
විෂය භාර අමාත්‍යවරයා විසින් මණ්ඩලය විසුරුවා හැරීමේ නිල ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැත. එම නිවේදනය ප්‍රකාශයට පත් කරන තෙක් ආයතනය පැවති පරිදිම ක්‍රියාත්මක වන බැවින්, අදාළ වන්දි මුදල් ගෙවීමට නීතිමය හැකියාවක් නොමැති බව පාලනාධිකාරිය සඳහන් කරයි.
මුලින් සැලසුම් කර තිබූ පරිදි ජනවාරි 01 වැනිදා සිට මෙම වෙනස ක්‍රියාත්මක නොවූ අතර, ප්‍රතිසංවිධාන කටයුතු අවසන් වී වන්දි ගෙවීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි වාර්තා වේ.
ලංවිම සතු 22,500ක් වන සමස්ත සේවක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර ඇත්තේ සේවකයින් 2,173ක් පමණි. සෙසු පිරිස අලුතින් ස්ථාපිත කෙරෙන සමාගම් හතර යටතේ සේවය සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
මෙම ප්‍රමාදය හේතුවෙන් සිය අනාගත සැලසුම් සියල්ල අඩාල වී ඇති බව පවසන සේවකයෝ, රජය වහාම මැදිහත් වී මේ සඳහා විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරති.
