දයාසිරි-චාමර ගැටුම දරුණුයි.. කුණු රෙදි පාරේ හෝදයි.. සැරට අමතා රට පුරා ලිපි යවයි..


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් රට පුරා සිටින ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් අමතමින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වෙත, 

2025.12.14 වන දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව නැවත වතාවක් උල්ලංඝනය කරමින් සිදු කරන ලද ක්‍රියාවක් සේ මා දකිමි. 

මේ අර්බුදය ආරම්භ වන්නේ 2022 මැයි මාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයත් සමග ය. එම තීන්දුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව සම්මත කළ  අතර එම තීන්දුවට පිටින් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් 9 දෙනෙක් විසින් කරන ලද පාවාදීම මත මෙම ක්‍රියාවලිය ආරම්භ විය. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා, දුමින්ද දිසානායක මැතිතුමා, ලසන්ත අලගියවන්න මැතිතුමා, චාමර සම්පත් දසනායක මැතිතුමා, ශාන්ත බණ්ඩාර මැතිතුමා, සුරේන් රාඝවන් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉතාමත් අමාරුවෙන් තෝරා ගන්නා ලද 2020 පාර්ලිමේන්තුවේ 14 දෙනාගෙන්  9 දෙනෙකු පක්ෂය ගත් තීන්දුවට එරෙහිව යමින් තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් පක්ෂය පාවා දී අමාත්‍යධූර භාර ගැනීම තුළ මෙම පක්ෂය විශාල අර්බුදයකට ලක් විය. ඒ අනුව විපක්ෂයේ සිට කටයුතු කරන්නට මෛත්‍රීපාල සිරිසේන සභාපතිතුමාත්, ලේකම් ලෙස මාත්, ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමාත්,  දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමාත්, අංගජන් රාමනාදන් මැතිතුමාත් කටයුතු කරන ලදි. ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් ව යාමේ දී පිහිටු වන ලද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තනතුරු ලබා ගනිමින් සහ තනතුරු නොලබා විපක්ෂයේ හිඳිමින් එම 9 දෙනා ආණ්ඩුවට සහයෝගය ලබාදීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෙවැනි තැනකට තල්ලු වන්නට හේතු විය. 

ඉන් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණය හේතුවෙන් ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ අතර ඉන්පසුව නැවත ඔවුන් සමග සාකච්ඡා කරමින් නැවත පක්ෂයට බඳවා ගන්නා ලද අතර ඔවුන් විසින් කියන ලද කේලාම් විශ්වාස කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මා පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කරන ලදි. ඉන්පසු ව එයට එරෙහිව මා විසින් නඩු පවරන ලද අතර නඩු තීන්දු දෙකකින් මා ලේකම් ධූරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන ලදුව මා ලේකම් වරයා ‍ලෙස වැඩ භාර ගැනීමට පැමිණීමේ දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පොලිස් බලය සහ තමන්ගේ අමාත්‍යධූරවල  බලය භාවිතා කරමින් මා හට පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට මෙම කුමන්ත්‍රණකරුවන් විසින් ඉඩ ලබා නොදෙන ලදි. ඉන් පසුව නඩු තීන්දු දෙකක දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිත්වය තහනම් කිරීමට ගත් තීන්දුව නිසා පක්ෂයේ සභාපතිධූරය හිස් වූ අතර පක්ෂ ව්‍යවස්ථාවේ නොතිබෙන බලයක් භාවිතා කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් අනීතිකව කැඳවන ලද දේශපාලන මණ්ඩලයක් මගින් වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාත්, වැඩබලන ලේකම් ලෙස දුමින්ද දිසානායක මැතිතුමාත් තනතුරුවලට පත් කර ගන්නා ලදි. එම වැඩ බලන තනතුරුවල ක්‍රියාකරමින් සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබාදුන් සංවිධායකවරුන්ට නැවත අනීතිකව පත්වීම් ලබා දෙන ලදි. ඉන්පසුව එම අනීතිකව පත් වූ සංවිධායකවරුන් සියලු දෙනා කැඳවා අනීතික විධායක සභාවක් කැඳවමින් එමගින් පක්ෂයේ සභාපති ලෙස ඔවුන් විසින් නිමල් සිරිපාල ද සිල්වා මහතාත් ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත් පත් කරන ලදි. ඒ අනුව මුල සිට බලන විට පක්ෂයේ ව්‍යවස්ථාව මුළුමනින් ම උල්ලංඝනය කරමින් සභාපති ධූරයේ ඇති වූ හිඩැස අනීතික  ලෙස ලබාගත් පිරිසක් අද පක්ෂය පාලනය කරමින් සිටියි. ඒ අනුව මුල සිටම මෙම කරන ලද පත්වීම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව අර්ථ ශුන්‍ය සහ බල රහිත (Null and void ab initio) ක්‍රියාවලියක් ලෙස මෙය හැදින්විය හැක. 

පසුගිය අවුරුදු දෙක තුළ මෙම අය විසින් පක්ෂයේ අභිවෘද්ධිය සඳහා කළ එකදු ක්‍රියාකාරමක් හෝ තිබේ දැයි පරික්ෂාකර බැලිය යුතු ය. අපගේ පක්ෂයේ තිබූ ග්‍රාමීය මට්ටමේ ශාඛා සමිති, කාන්තා සමිති, තරුණ සමිති කිසිවක් නැවත ප්‍රතිශ්ඨාපනය කර නැත. ආසන සංවිධායකවරුන් කැඳවන ලද ඉතා ස්වල්ප බලමණ්ඩල රැස්වීම්වලට පැමිණියේ 100  ක පමණ පිරිසක් පමණි. තරුණ බල මණ්ඩලය, කාන්තා බල මණ්ඩලය පිහිටුවනවා වෙනුවට ආසනවල නම් කිහිපයක් තෝරා ගෙන එම නම් පක්ෂ මූලස්ථානයට එවා සමස්ථ ලංකා කාන්තා සංවිධානය, තරුණ සංවිධානය ස්ථාපිත කරන ලදි. උදාහරණයක් ලෙස පසුගිය දා පැවති සමස්ථ ලංකා කාන්තා පෙරමුණේ රුස්වීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14 කින් පැමිණියේ තිදෙනෙකු පමණි.  පක්ෂ යාන්ත්‍රණය මුළුමනින් ම බිඳ වැටී තිබේ.  එබැවින් පාක්ෂිකයින් එකතු කර ගැනීම සඳහා වන කිසිදු වැඩ පිළිවෙලක් මෙම අයට නැත. අලුත් දේශපාලන විචල්‍යතාවයන්ට ඔරොත්තු දෙන පරිදි පක්ෂය නැවුම් ව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ පිළිවෙක් මෙම අයට නැත. කෙටියෙන් කිවහොත් ඔවුන්ගේ පැරණි ‍දේශපාලනය තවදුරටත් මේ රටේ වලංගු නොවේ.   

අනීතික ලෙස මා ඉවත් කිරීම සඳහා කටයුතු කළ සහ අනීතික ලෙස පත් වී තිබෙන සභාපතිවරයා සහ ලේකම්වරයාගේ පත්වීම්වලට එරෙහි ව මා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ. එම නඩුව වසර දෙකක් තිස්සේ විභාග වෙමින් පවතී. එහි අවසන් තීන්දුව ලබන 18 වන දිනට ලබාදීමට නියමිත ය. මෙම තීන්දුව ලබාදීමට පෙරාතුව පක්ෂයේ අනීතික විධායක සභාවක් සහ සමස්ථ ලංකා කාරක සභාවක් 14 වන දින කැඳවා තිබුනි. එයට සහභාගි වූ සාමාජිකයින් අපේ පක්ෂයේ කොදු නාරටිය වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන කිසිදු අනුබද්ධ සංවිධානයකට අයත් නොවන අය වන අතර එම කිසිදු සංවිධානයක් මේ වනතුරු පිහිටුවා නොතිබෙන අතර විවිධ සංවිධානවලින් අහුලා ගන්නා ලද පිරිස් එම සමස්ථ ලංකා කාරක සභාවට ගෙනවිත් තිබුණි. තමන්ට රිසි සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන්නට මෙම පිරිස කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කරමින් සිටියි. 

මෙම සමස්ථ ලංකා කාරක සභාව සහ විධායක සභාව හදිසියේ පැවැත් වුයේ ඇයි ? 

අධිකරණයේ තීන්දුව අනුව ලබන 18 වන දා මා ලේකම් වරයා ලෙස නැවත පත් කරනු ලැබුව හොත් එවිට පක්ෂයේ සභාපති ධූරය අහෝසි වී නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපති ධූරය තවදුරටත් වලංගු වන්නේ නැත. එවිට සභාපති ධූරය හිස් වේ.  එවිට පක්ෂ ව්‍යවස්ථාව අනුව ලේකම්වරයෙක් සිටින අතර පක්ෂයේ සභාපතිවරයෙක් නොමැති තත්ත්වයක් උද්ගත වේ. එබැවින් ඊට ‍පෙර සභාපතිවරයාගේ බලය දේශපාලන මණ්ඩලයට පවරා සභාපතිවරයෙක් නැති තත්ත්වයක් තුළ දේශපාලන මණ්ඩලය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිලිවෙලක් සමස්ථ ලංකා කාරක සභාවේ දී සම්මත කර ගන්නා ලදි. මෙම සම්මේලනයේ දී පාක්ෂිකයින් අතර මා පිළිබඳව අප්‍රසාදයක් ඇති වන පරිදි, මා පිළිබදව අභූත චෝදනා රාශියක් එල්ල කරන ලදි. 

මූලික වශයෙන් මෙම කාර්යයේ දී නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුළු පිරිස සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුනි. එහි දී ඔවුන් දිගින් දිගටම යෝජනා කළේ මා හට ජාතික සංවිධායක ධූරය භාර ගන්නා ලෙසයි. මා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ අසාධාරණ ලෙස ඉවත් කරන ලද මා‍ගේ ලේකම් ධූරය මා වෙත ලබා දෙන ලෙසත් එසේ නොමැති නම් පක්ෂය මෙහෙයවීම සඳහා පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා මහතාට අමතරව නායක දූරයක් ස්ථාපිත කරමින් මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන ලෙසයි. එයට අදාළ වන ව්‍යවස්ථා සංශෝධන මා විසින් පිළියෙල කර එම සංශෝධන  ලසන්ත අලගියවන්න මහතා වෙත ලබා දෙන ලදි. නමුත් ඒ සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ අතර එම සමස්ථ ලංකා කාරක සභාවට දින කිහිපයකට කලින් නැවතත් ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස මා හට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින ලද අතර අවශ්‍ය බලතල සියල්ල ලබා දෙන බවත් පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස මා හට කටයුතු කරන්නට හැකි බවත් ප්‍රකාශ කරන ලදි. පක්ෂයේ ලේකම්ධූරය කිසිසේත් දුමින්ද දිසානායක මහතාගෙන් ඉවත් කිරීමට නොහැකි බව මා හට දැන්වීය. පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටිය දී අනීතික ලෙස ඉවත් කරන ලද මා නැවත ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නට අවශ්‍ය නොමැති බව මා ප්‍රකාශ කරන ලදි. ඉන් පසුව සභාපතිවරයාගේ බලය සම්පූර්ණයෙන් දේශපාලන මණ්ඩලයට පැවරීමට මා එකඟ නොවූ අතර පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සභාපතිවරයා‍ට කෙනෙකු ඉවත් කරන්නටත්, අනෙක් අයට සභාපතිවරයා ඉවත් කරන්නටත් ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ඉවත් කරන ලෙස මා ප්‍රකාශ කරන ලදුව නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එයට අදාළ සංශෝධනය මා හට එවා තිබුණි. ඒ කෙසේ වෙතත් අපගේ ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් සියලු දෙනා මාගෙන් ඉල්ලා සිටියේ අවුරුදු දෙක හමාරක් තිස්සේ ලේකම් ධූරය අහිමිවීමට එරෙහි ව නඩු පවරා ඇති තත්ත්වයක් තුළ ජාතික සංවිධායක ධූරය භාර ගැනීම නොකළ යුතු බවයි. ඒ අනුව එම තීරණය මා ඔවුන් වෙත දන්වා සිටින ලදි. එම නිසා එම තනතුරට චාමර සම්පත් දසනායක මහතා පත් කරන ලද අතර ඔහුගේ කතාවේ දී ඔහු සභාව පමණක් නොව රටම නොමග යවන ආකාරයේ ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් කරන ලදි. 

පළමු කරුණ ලෙස මා පත්වී සිටින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් ලෙස වන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් මා ලබා ගත හොත් මාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බවත්, ඔහු ප්‍රකාශ කරන ලද අතර එය එම සභාව පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාත් නොමග යවන ප්‍රකාශයකි. ඇත්ත වශයෙන් ම මා සමගි ජන බලවේගය සමග ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ගිවිසුම අනුව මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් ලෙස ඔවුන් පිලිගෙන තිබෙන අතර මම ලබා ගත් මන්ත්‍රීධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ලබාගත් මන්ත්‍රීධූරයක් ලෙස ඔවුන් පිළිගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබේ. චාමර සම්පත් දසනායක මහතා එකී මැතිවරණයට තරඟ ක‍ළේ සිලින්ඩරය ලාංඡනය යටතේ ය. එසේ නම් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන්නේ කෙසේ ද යන්න මේ හා සමානවම ගැටළුවක් පවතී. ඔහු තවදුරටත් කටයුතු කරන්නේ සිලින්ඩරය ලාංඡනය සහිත පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනෙනි.  එසේ නම් ඔහුගේ මන්ත්‍රී ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීධූරයක් වන්නේ කෙසේ ද ? 

මෙලෙස පක්ෂ දෙකකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරග කරන්නට සිදුවූයේ තමන්ගේ  බලයට තිබෙන කෑදරකමට ආණ්ඩුවල ඇමතිධූර භාර ගැනීමේ කාලකන්නිකම නිසයි. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉදිරියට පැමිණ කටමැත දොඩවන චාමර සම්පත් එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තනතුරු ලබා නොගැනීමට පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින්  “මට ඇමතිධූරයක් ඕනේ ඒ නිසා තව දුරටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැදී සිටින්නේ නැති” බව ප්‍රකාශ කරමින් මධ්‍යම කාරක සභා‍වෙන් එළියට ගිය අවස්ථාව මා හට තවමත් මැවී පෙනේ. දෙසැම්බර් 14 වන දින පැවති සමස්ථ ලංකා කාරක සභාවේ දී අපේ පක්ෂය විනාශ මුඛයට පත් කළ නායකයින් ඉදිරියේ තබා ගනිමින්, ඔවුන්ට අත්පොලසන් දෙමින්, හිනාවෙමින් මෙයට පැමිණි අය හැසිරුණු ආකාරය දුටු මා හට ඇති වූයේ විශාල කණගාටුවකි. තවමත් පක්ෂයට ඇති වී තිබෙන විනාශය පිළිබඳව තේරුමක් මෙම අයට නොතිබීම පිළිබඳව මා කණගාටු වෙමි. 

එබැවින් අමූලික බොරු ගොතමින් පක්ෂයත් පාක්ෂිකයාත් නොමග යවන්නට එම කණ්ඩායම කරන මෙම ක්‍රියාවලිය මා සම්පූර්ණයෙන් හෙලා දකිමි. අනීතිකව විවිධ සංගම් කැඳවමින් මෙම කරන  ක්‍රියාවලිය තුළින්  විනාශ වන්නේ පක්ෂයත් පාක්ෂිකයාත් පමණි. එබැවින් මෙම විහිළු සහගත ක්‍රියාවලිය තුලින් කිසි දිනෙක පක්ෂය ගොඩනැගිය හැකි යැයි මා විශ්වාස නොකරමි. එම නිසා සුදුස්සාට සුදුසු තැන ලබා දී පක්ෂය ගොඩගැනෙන ක්‍රියාවලියට එකතු වන ඕනෑම මොහොතක අවුරුදු දෙක හමාරක් තිස්සේ අපගේ ආදරණීය පක්ෂ මූලස්ථානය තහනම් ව සිටින මා ඕනෑම කැප කිරීමක් කර පක්ෂය නැවත ගොඩනැගීමට සූදානම් බව ප්‍රකාශ කරන අතර තමන්ගේ බල පෙරේතකම වෙනුවෙන් තනතුරුවල එල්ලී සිටින සියලු දෙනාට මා ගෞරවයෙන් ප්‍රකාශ කරන්නේ දැන්වත් මේ ක්‍රියාවලිය නතර කොට පක්ෂය ගොඩගැනීම සඳහා ක්‍රියා කරන ලෙසයි. අපගේ වාමවාදී ප්‍රගතිශීලී බලවේග සියල්ලම පාහේ අද අපෙන් ඉවත් ව ජාතික ජන බලවේගයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් විතැන් වී තිබේ. එම පිරිස් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආකර්ෂණය කර ගැනීමට මෙවැනි පැලැස්තර විසඳුම් වලින් හැකියාවක් නොමැති බව මා ඔබ සියලු දෙනාට නැවත ඉතා ඕනෑකමින් මතක් කර සිටිමි. මේ අභියෝගය ජය ගන්නට පක්ෂය පුටු මාරු කිරීමෙන් පමණක් සාර්ථක නොවන අතර එකාවන් ව එකමුතු ව අපේ පක්ෂයට සිදුවුණ විනාශය පිළිබඳව නැවත හොඳින් සිතා බලා පක්ෂයට ගොඩනැගීමට කටයුතු කළ යුතුය. එසේ නොවුන හොත් ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී පළමුව අපට තරඟ කරන්නට පක්ෂයක් නොමැති වන අතර දෙවනුව පොදුජන පෙරමුණට හේත්තු කරන ලද බෝඩ් ලෑල්ලක් බවට මේ පක්ෂය පත්වීම අනිවාර්යයෙන් සිදු වන බව මා මෙහි දී සිහිපත් කර සිටිමි. 

මේ වනතුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසම විසින් පිලිගනු ලබන පක්ෂයක් නොවේ. ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ විධායක සභාව කැඳවුව ද, සමස්ථ ලංකා කාරක සභාව කැඳවා තනතුරු හුවමාරු කර ගත්ත ද, පක්ෂය නීත්‍යානුකූල ලෙස මැතිවරණ කොමිසම පිලිගන්නේ මෙම නඩු කටයුතු අවසන් කොට සියලු දෙනා ඒකරාශී කර කටයුතු කරන තත්ත්වයක් තුළ පමණි. එබැවින් තවදුරටත් පක්ෂයත් පාක්ෂිකයාත් නොමග යවන්නේ නැතිව පැලැස්තර විසඳුම්වලින් තොරව පක්ෂය ගොඩනැගිය හැකි නව වැඩපිළිවෙලක් තුළ ක්‍රියා කරන මෙන් තාවකාලික තනතුරු බෙදා ගත් සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිමි. 

ස්තුතියි.

මෙයට හිතවත්, 

නීතීඥ දයාසිරි ජයසේකර (පා/ම)
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

2 Comments

  1. ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ රිලාසිටියා හූ ... හු... චාමර ගල් බඩා වල් ඌරටත් සෙකන්ඩ් උනා. කයිවාරු ලොන්තයා.

    ReplyDelete
  2. Ubata handa weda une Daya.

    ReplyDelete
Previous Post Next Post