ගංජා වැටලූ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්.. නිලධාරියා රෝහලේ...


සූරියකන්ද පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සහයකයෙකුට පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු තුවාල ලබා ඊයේ රාත්‍රියේ ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 

මෙම පහරදීම සිදුකර ඇත්තේ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් බවට රෝහල්ගතව සිටින පොලිස් සහයකවරයා චෝදනා කරයි.

සිද්ධියේ පසුබිම පසුගිය 16 වනදා සූර්යකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වගා වැටලීමක් මෙම සිද්ධියට මුල් වී ඇති බව වාර්තා වේ. 

අදාළ ගංජා වගාව මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියාට අයත් ඉඩමක පවත්වාගෙන ගොස් ඇති අතර, පහරදීමට ලක්වූ පොලිස් සහයකවරයාද එම වැටලීමට එක්ව සිට ඇත.

තමා රාජකාරිය නිම කර යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී, මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් වාහනයකින් පැමිණ තමා පසුපස හඹා විත් යතුරුපැදිය හරස් කර පහරදීමට උත්සාහ කළ බව පොලිස් සහයකවරයා පවසයි. 

පළමු අවස්ථාවේදී එය බහිබස් වීමකින් අවසන් වුවද, පසුව කළුගල පන්සල පාර ප්‍රදේශයේදී නැවතත් යතුරුපැදිය හරස් කර තමාට පහර දුන් බවත්, මරණ තර්ජනය කරමින් මන්ත්‍රීවරයා සිය යතුරුපැදියේ යතුර උදුරාගත් බවත් ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, "කසිප්පු පැකට් එකකින් මුහුණට ගැහුවා, ඒකේ සැරට ඇස් පේන්නේ නැතිව ගියා" යනුවෙනි. 

මෙම පහරදීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකු සම්බන්ධ වූ බවටද ඔහු හඳුනාගෙන තිබේ.
Previous Post Next Post