උඩරට කෝච්චි පාර හදන්න මාස දෙකකිනුත් බැරි වෙයි..- ප‍්‍රසන්න

 


ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට මාස දෙකක කාලයක් ප්‍රමාණවත් නොවනු ඇති බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

පේරාදෙණිය දුම්රිය පාලමට දැඩි හානි සිදුවී ඇති අතර, එය ප්‍රතිසංස්කරණය කිරීම දැනට පවතින විශාල අභියෝගයක් බවත් ඔහු අවධාරණය කරයි.

පාලමේ අලුත්වැඩියා කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමක් පේරාදෙණිය ප්‍රදේශයට ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

එහි මූලික පියවරක් ලෙස, පාලමෙහි සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

දුම්රිය මාර්ගයේ උස්බිම් වල දුම්රිය මැදිරි අටක් පමණ නැවතී ඇති බවත්, එම දුම්රිය යළි රැගෙන ඒම සඳහා මාර්ගය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, මෙම දුෂ්කර තත්ත්වය ජය ගැනීමේ අභිලාෂයෙන් සියලු කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය හැකි ඉක්මනින් පිළිසකර කිරීම සිය ප්‍රධාන අරමුණ බව  ප්‍රකාශ කළේය.

Previous Post Next Post