නායයෑමේ අවදානමක් තිබියදී අවතැන් වූවන්ට සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉවත් වන්නැයි දන්වයි...

 


තලවාකැලේ, වටගොඩ, යෝක්ස්ෆෝඩ් වත්තේ නායයෑමේ අවදානම හේතුවෙන් සහන කඳවුරුවල රැඳී සිටින පිරිස්වලට වහාම එතැනින් ඉවත් වන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් කරන බව පීඩාවට පත් ජනතාව පවසති.

පවතින අයහපත් කාලගුණයත් සමඟ පසුගිය මස 27 වැනිදා මෙම වත්තේ ඉඩම් ගිලා බැසීමට ලක් වූ අතර, පේළි නිවාසවල බරපතල පැලුම් ඇති විය. මේ හේතුවෙන් පවුල් 45කට අයත් පුද්ගලයන් 108 දෙනෙකු ඉවත් කර වත්තේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් ලබා දී ඇත.

පීඩාවට පත් ජනතාව මාද්‍යය වෙත සිය සීමැසිවිල්ල ප්‍රකාශ කරමින් කියා සිටියේ දිනෙන් දින ඉහළ යන අවදානම නොතකා පේළි නිවාස 16කින් සමන්විත නිවාස පද්ධතියක බරපතල ලෙස පැලුම් ඇති වී ඇති අතර, ඒවා දිනෙන් දින ගිලා බසිමින් පවතියි.

මෙවැනි අනතුරුදායක තත්ත්වයක් තුළ නැවත එම නිවාසවලටම පදිංචියට යන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් කරන බව පවසති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිලධාරීන් පැමිණ නිවාස 31ක් පරීක්ෂා කළ ද, දැඩි අවදානමට ලක්ව ඇති නිවාස 16කින් යුත් පේළි නිවාස පද්ධතිය මෙතෙක් පරීක්ෂාවට ලක් කර නොමැති බවජනතාව පෙන්වා දෙති.

ළමා සුරැකුම් මධ්‍යස්ථානයෙන් වහාම ඉවත් වන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් සිදු කරමින් දන්වා ඇතත්, ජීවිත අවදානමක් ඇති නිවාසවලට යාමට තමන්ට නොහැකි බවත් පීඩාවට පත් ජනතාව පවසති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ අමාත්‍යවරුන් වහා මැදිහත් වී තමන්ට සහනයක් සලසා දෙන ලෙස එම ජනතාව ඉල්ලා සිටිති.

- ආර්.එෆ්.එම්.සුහෙල් 

Previous Post Next Post