මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය නොතකා මෙගාවොට් 50ට වැඩි භූගත සූර්ය බලාගාර අටක් ඉදිකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය උත්සාහ ගනිමින් සිටින බවට මධ්‍යම පරිසර අධිකාරියට තොරතුරු ලැබී තිබේ.
විදුලිබල ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි ඇමැති ධුරයට පත්වීමට පෙර සේවය කළ බව කියන අනුබද්ධ ආයතනයක් ද මෙම බලාගාර ඉදිකිරීමේ සැලසුම පිටුපස ඇතැයිද තොරතුරු හෙළිව ඇත.
1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ දැක්වෙන පරිදි මෙගාවොට් 50ට වැඩි බලාගාර ඉදිකිරීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ EIA (පරිසර බලපෑම් වාර්තාව) ලබාගත යුතුය. එම අනුමැතිය නොමැතිව මෙගාවොට් 50ට වැඩි බලාගාර ඉදිකිරීමට අවසර නොමැති බව ද එම පනතේ සඳහන්ය.
මෙම සූර්ය බලාගාර අට 8 තුළ මෙගාවොට් 100ක විදුලි ව්‍යාපෘති හයක්ද, මෙගාවොට් 70, 60 සහ මෙගාවොට් 50 ක ව්‍යාපෘති දෙකක් ද ඇතුළත්ය.
මධ්‍යම පරිසර අධිකාරියේ EIA (පරිසර බලපෑම් වාර්තාව) අවසරය ලබා ගැනීම සඳහා රුපියල් මිලියන දෙකක පමණ මුදලක් රජයට ගෙවිය යුතු අතර IEE සහතික ලබා ගැනීමට ගෙවිය යුත්තේ ඊට අඩු මුදලක් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
මේ අතර විදුලි බලාගාරයක් ඉදිකිරීමේදී පරිසරයට වන හානිය සහ සත්ත්වයන්ට සහ මිනිසුන්ට සිදුවන හානි නොතකා මෙම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යන බවටද චෝදනා එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්ගෙන් කළ විමසීමේදී සභාපතිවරයා කියා සිටියේ මෙගාවොට 50ට වැඩි විදුලි ව්‍යාපෘති සඳහා EIA (පරිසර බලපෑම් වාර්තාව)
අනුමැතිය ලබාගත යුතු බවයි. එසේ නොකර IEE ( මූලික පරිසර වාර්තාව) සහතිකය මත එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව එවැනි ව්‍යාපෘති පිළිබඳ සොයා බැලිය යුතු බවද සභාපතිවරයා කියා සිටියේය.
(මේ සම්බන්ධයෙන් බලශක්ති ඇමැති කුමාර ජයකොඩිගෙන් විමසීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
මේ අතර බලශක්ති ඇමැති කුමාර ජයකොඩි 2015 වසරේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් පිළිබඳව ලබන සතියේ වාර්තාව ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එහි නිලධාරීන්ට දැනුම් දී ඇත.
ඇමැතිවරයාට එල්ල වී ඇත්තේ රුපියල් මිලියන 8ක මුදලක් අයථා පරිහරණය කිරීමේ චෝදනාවකි. ටෙන්ඩරයක් පිරිනැමීමේදී සිදුවී ඇති බව කියන සිද්ධියකදී ටෙන්ඩර් මණ්ඩලය ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි බවද අල්ලස් කොමිසම කියා සිටී.
‘ අරුණ'

පුනරුදය පුනහොරුද?
ReplyDelete