ලබන වසරේ සිට පළමුවන ශ්‍රේණිය සහ හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කර ඇති මොඩියුල වල අන්තර්ගත මූලාශ්‍රයන්හි විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි අවිශ්වාසයක් පවතින බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක හිරාන් අමරසේකර මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, රජයේ නිල ෆේස්බුක් පිටුවක් මගින්ද මෙම නව මොඩියුලවල පවතින දෝෂයක් පිළිබඳව වාර්තා කර ඇති බවයි.
විශේෂයෙන්ම මෙම මොඩියුලවල අන්තර්ගත වෙබ් අඩවි සහ යූටියුබ් සබැඳි සඳහා ලබා දී ඇති QR කේත සම්බන්ධයෙන් ඔහු බරපතල ප්‍රශ්න කිහිපයක් මතු කරයි.
අමරසේකර මහතා පෙන්වා දෙන පරිදි, මෙම ග්‍රන්ථවල ඇතුළත් කර ඇති මූලාශ්‍ර බොහෝමයක් .gov (රජයේ), .edu (අධ්‍යාපනික) හෝ .ac.lk (විශ්වවිද්‍යාල) වැනි පිළිගත් සහ විශ්වාසනීය මූලාශ්‍ර නොවේ.
ඒ වෙනුවට විවිධ පුද්ගලයින් විසින් උඩුගත කරන ලද තාවකාලික යූටියුබ් වීඩියෝ සහ වෙබ් අඩවි සබැඳි මෙලෙස නිල පෙළපොත් සඳහා ඇතුළත් කර තිබීම වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු අවධාරණය කරයි.
"රටක අනාගත පරපුර වෙනුවෙන් සකස් කරන නිල ග්‍රන්ථවලට මෙවැනි තාවකාලික සහ නොදන්නා පුද්ගලයින්ගේ මූලාශ්‍ර ඇතුළත් කිරීම කොතරම් වගකීම් සහගතද?" යනුවෙන් ඔහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියි.
දැනට දරුවන් පරිශීලනය කරන සම්ප්‍රදායික පාසල් පෙළපොත්වල ගුණාත්මකභාවය හා සැසඳීමේදී මෙම නව මොඩියුලවල මට්ටම ඉතා පහළ මට්ටමක පවතින බවද ඔහුගේ අදහසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, ඉගෙනුම් ද්‍රව්‍යවල පවතින මෙවැනි තාක්ෂණික සහ අන්තර්ගතමය දෝෂ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
