ලාබ කරන්න සමාගම් හැදුවත් 12%කින් විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ඉල්ලයි... යෝජිත නව ගාස්තු මෙන්න..

 


2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත නිල යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය දෙසැම්බර් 24 වැනිදා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලිය මගින් පෙන්වා දී ඇත්තේ, 2026 වසරේ මුල් මාස තුන තුළ විදුලි උත්පාදනය හා බෙදා හැරීම වෙනුවෙන් රුපියල් මිලියන 137,016ක පිරිවැයක් දැරීමට සිදුවන බවයි. 

එහෙත් වත්මන් ගාස්තු ක්‍රමය යටතේ අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 113,161ක් පමණක් වන බැවින්, පිරිවැය පියවා ගැනීම සඳහා රුපියල් මිලියන 13,094ක අතිරේක ආදායමක් අත්‍යවශ්‍ය වී ඇති බව මණ්ඩලය අවධාරණය කරයි.

එළඹෙන වසරේ පළමු කාර්තුව තුළ ගිගාවොට් පැය 4,453ක විදුලි උත්පාදනයක් අපේක්ෂා කෙරේ. මෙහිදී ජල විදුලියෙන් ගිගාවොට් පැය 1,172ක් ද, තාප විදුලියෙන් ගිගාවොට් පැය 2,203ක් ද ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ඉතිරි ප්‍රමාණය වෙනත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් සපුරා ගැනීමට නියමිතය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ආර්ථික දර්ශක අනුව මෙරට විදුලි ඉල්ලුම වසරකට 3.72%කින් ඉහළ යනු ඇතැයි ද මණ්ඩලය පුරෝකථනය කර තිබේ.

මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය (VRS) සඳහා වන රුපියල් මිලියන 11,554ක පිරිවැයෙහි කොටසක් ද මෙම ගාස්තු සංශෝධනයට ඇතුළත් කර ඇත. මීට අමතරව සුළි කුණාටුවෙන් විදුලි පද්ධතියට සිදුවූ රුපියල් බිලියන 20ක පමණ අතිවිශාල හානිය වෙනුවෙන් බාහිර මූල්‍ය ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බැවින්, එම සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පැටවීමට මණ්ඩලය මෙතෙක් පියවර ගෙන නොමැත.

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ අවම ඒකක කාණ්ඩයේ (ඒකක 0-30) ගාස්තුව රුපියල් 4.50 සිට රුපියල් 5.29 දක්වාත්, ඉහළම කාණ්ඩයේ (ඒකක 181 ට වැඩි) ඒකකයක මිල රුපියල් 61.00 සිට රුපියල් 71.76 දක්වාත් ඉහළ යනු ඇත. එසේම ආගමික ස්ථාන සහ කර්මාන්ත අංශ සඳහා ද සාපේක්ෂ ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර තිබේ.

1 Comments

Previous Post Next Post