ජාතික රෝහලේ මිලියන 2500 ප්‍රතික්‍රියක වංචාව යට ගැසීමේ සූදානමක්.. ප්‍රතික්‍රියක ඉවත් කර ගැනීමේ සැලැස්මක්..

 


2022-2025 කාලසීමාවේදී කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන රසායනාගාර සඳහා සමාගමක් හරහා ප්‍රතික්‍රියක මිලදී ගැනීමේ, වෛද්‍ය සැපයුම් ඒකකය අනුමැතියකින් තොරව රෝහල් පරිපාලනය මගින් රුපියල් මිලියන 2500 කට අධික ප්‍රතික්‍රියක මිලදීගෙන තිබීමත්, ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගන්නා විටත් කල්ලිකුත්ව ඇති බවට පසුගිය ජුනි මාසයේදී විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ විගණන විමසුමෙන් සනාථ වී ඇත. 

එවන් තත්ත්වයක් යටතේ මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් කොමිසමෙන් විමසා ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කොට ඇති අවස්ථාවකදී අදාළ ප්‍රස්ථ සහගත ප්‍රතික්‍රියක යළි මුල් සමාගම වෙත ලබා දී, එම මුදලට සමාන ප්‍රතික්‍රියක අදාළ සමාගමෙන් ලබාදීම සඳහා කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසක් පසුගියදා කොළඹ ජාතික රෝහලේ පැවති විගණන විමසුම් සාකච්ඡාවකදී ප්‍රකාශයට පත්කොට ඇති බවත්, මේ ඉතා පැහැදිලිව නඩු භාණ්ඩ විනාශ කිරීමක් සහ සිදුවී ඇති බරපතළ වංචාව යට ගැසීමේ සැලැස්මක් වන බැවින් කඩිනමින් මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත. 

පසුගියදා ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් බාර දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ උද්ගත වී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔහු කටයුතු කොට ඇති අතර එය අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන්ගේ ද සම්බන්ධතාව ප්‍රශ්න සහගත වන කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයේ ආශ්‍රිතව සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් දිගින් දිගටම විගණන විමසුම් මඟින් පෙන්වා දෙන නමුත් ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විමර්ශන ක්‍රියාත්මක නොකිරීම ප්‍රශ්න සහගත බවයි. 

මෙවන් තත්ත්වයක් යටතේ මෙම වංචාවන් යට ගැසීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළම නිලධාරීන් මගින් අදාළ ප්‍රශ්න සහගත සමාගම සමග සාකච්ඡා කොට මෙම ප්‍රතික්‍රියක විනාශ කොට අලුතින් ප්‍රතික්‍රියක මිලදී ගැනීම සඳහා යම් සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ නම් එය රටේ නීතියට සිදුකරන අගෞරවයක් සහ අවභාවිතාවක් වන බැවින් වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා  පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කරන ප්‍රශ්න සහගත නිලධාරීන් දිගටම ආරක්ෂා කර ගැනීමේ පිළිවෙතක් වර්තමාන සෞඛ්‍ය විෂය භාර දේශපාලකයන් විසින් සිදු කරන බව ඔවුන් වරින් වර මාධ්‍යයට සිදු කරන ප්‍රකාශ හා වගකීම් විරහිත ලෙස ඔවුන්ගේ හැසිරීම් මගින් ඉස්මතු වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය සඳහා රසායනාගාර උපකරණ මිලදී ගැනීමේදී හා ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී රෝහලේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්,  විශේෂඥ වෛද්‍යශිල්පී ඝනකාධිකාරී වරුන්,  හා රසායනාගාර තාක්ෂණික ශිල්පී එක්කෝ රජයට බරපතල මූල්‍ය අවභාවිතාවක් සිදුකොට ඇති බවට එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රැක්ෂාන් බෙල්ලන මහතා ද මීට පෙර චෝදනා කළේය.

1 Comments

  1. දැන් හොරු නෑනේ. 🐃 මී හරක්ගෙ ඇඟවල් පුරාම ගොම. 🐝🐝🐝

    ReplyDelete
Previous Post Next Post