රජයේ ප්‍රතිපත්තිය හානි වුණු සෑම කෙනෙකුටම නැවත නැගීසිටීමට අවශ්‍ය සහයෝගය ලබා දීම බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සමඟ ගොවිජන මන්දිරයේදී පැවති හමුවකදීය. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සහ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සිය ගෞරවය පළ කළේය.
මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදු වූ හානිය පිළිබඳව විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කළේය.
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.
“ සහල්වලින් කරන වෙනත් නිෂ්පාදනවලට යොමු වීමට අප බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන අපි දැනට ඇතැම් එළවළු ආනයනය කරනවා.
පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන එළවළු අපනයනය වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට අපි කිරි නිෂ්පාදනය කරන්නේ අවශ්‍යතාවයෙන් 40%ක් පමණ. එය 70% දක්වා ඉහළ නැංවීමට අපි යම් යම් පියවර ගන්නවා.
මේ වෙනකොට කුකුළු මස් අපනයනයටත් යොමු වෙලා තියෙනවා. සත්ව ආහාරයක් ලෙස ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බඩඉරිඟු රට තුළ නිෂ්පාදනය කරන්නේ 50%ක් පමණ. රට පුරා විසිරී සිටින ගොවීන් එකතු කරමින් ගොවි සමාගම් ඇති කිරිමටත් අපගේ අවධානය යොමු වෙලා තියෙනවා.”
