නිපා වෛරසය ගැන බිය වෙන්න එපා..- සෞක්‍ය නි. ඇමති

 


ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ‘නිපා’ (Nipah) වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බවත්, ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ මෙරටින් මෙතෙක් කිසිදු නිපා වෛරස් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි.

නිපා වෛරසය මීට පෙර වාර්තා වූ ආසියානු කලාපයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"මේ අවස්ථාවේදී ලංකාවට කිසිදු අවදානමක් නැහැ. නිපා වෛරසය ඉතිහාසයේ කිසිදු දිනෙක ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වී නැති නිසා මහජනතාව කලබල විය යුතු නැහැ," යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

යම් හෙයකින් සැක සහිත රෝගීන් හමු වුවහොත්, ඔවුන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් සහ පරීක්ෂණ කට්ටල සෞඛ්‍ය අංශ සතුව ප්‍රමාණවත් පරිදි පවතින බව ද ඔහු සහතික විය.

නිරන්තරයෙන් කලාපීය සෞඛ්‍ය තත්ත්වයන් සමාලෝචනය කරන බවත්, රටට සැබෑ අවදානමක් ඇති අවස්ථාවකදී පමණක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මහජන මුදල් හා කාලය අනවශ්‍ය පරීක්ෂණ සඳහා වැය කිරීමේ අවශ්‍යතාවක් නැති බව අවධාරණය කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

2 Comments

  1. ගෝඨාබයගේ අගය ටික දවසකින් තේරෙයි. මේක වලක්වාගන්න අනිත් රටවල් දැන්ම ගුවන්තොටුපලවල් සකස් කරලා. ගයිඩ්ලයින් හදල.

    ReplyDelete
  2. මුන් කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා.

    ReplyDelete
Previous Post Next Post