පාසල් අද ඇරඹේ.. සති තුනකින් යලි නිවාඩු..

 


2026 අධ්‍යයන වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පළමු වාරයේ පළමු අදියර පසුගිය ජනවාරි 05 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වුණු අතර, අනතුරුව ජනවාරි 10 වැනිදා සිට 20 දක්වා පාසල් නිවාඩු ලබා දී තිබුණි.

සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම මත කල් දැමීමට සිදු වූ අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් පවත්වා අවසන් කිරීම සඳහා මෙම නිවාඩු කාලය වෙන් කර තිබූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ කාලසටහනට අනුව, පළමු වාරයේ දෙවන අදියර අද සිට එළඹෙන පෙබරවාරි 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

2025 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන්, පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා පාසල් නැවත වසා තැබීමට නියමිතය.

කෙසේ වෙතත්, රමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 22 වැනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Previous Post Next Post