රජයේ රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවට, පෞද්ගලික අංශයට රජයේ රෝහල් තුළ සේවා සැපයීමට අවස්ථාව ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නව කැබිනට් පත්‍රිකාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට එල්ල කරන බරපතළ අභියෝගයක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, මෙමගින් රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැලසීමට රජය අසමත් වී ඇති බව තහවුරු වන බවයි.
වත්මන් සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින පරිපාලනමය සහ මූල්‍යමය අකාර්යක්ෂමතාව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ම මෙම කැබිනට් පත්‍රිකාව හරහා වක්‍රව පිළිගෙන ඇති බව වෛද්‍යවරයා සඳහන් කරයි.
සෞඛ්‍ය ආර්ථික විද්‍යා විශ්ලේෂණවලට අනුව රාජ්‍ය අංශය මගින් සේවා සැපයීමේ පිරිවැය අවම වුවද, පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමේදී එම පිරිවැය බෙහෙවින් ඉහළ යන බවත්, ඒ පිළිබඳව විෂය ප්‍රවීණයන්ගේ අධ්‍යයනයකින් තොරව මෙවැනි තීන්දු ගැනීම ප්‍රශ්න සහගත බවත් ඔහු පෙන්වා දෙයි.
රට තුළ පවතින ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් සෙවීමට රජය අසමත් වී ඇති බව පවසන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා දිවයින පුරා පවතින උග්‍ර ඖෂධ හිඟය , CT සහ MRI වැනි විකිරණ තාක්ෂණ පරීක්ෂණ සිදුකිරීමේ අර්බුදය, ශල්‍යකර්ම සඳහා පවතින දීර්ඝ පොරොත්තු ලේඛන, ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල රසායනාගාර පරීක්ෂණ අඩාල වීම, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යාම ගැටළුවලට විසදුම් නැති බවත් පැවසුවේය.
සෞඛ්‍ය පද්ධතියේ මෙම බිඳ වැටීමට වගකිවයුතු නිලධාරීන් තවදුරටත් ඉහළ තනතුරුවල රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව හෙතෙම සඳහන් කළේය.
එබැවින්, අදාළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසත්, ඒ පිළිබඳව විධිමත් ඇගයීමක් සිදුකිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කරන ලෙසත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පුන රුදාව
ReplyDelete