විශේෂඥ දොස්තරලා වෘත්තිය සටන් කැදවයි..

 


රජයේ වෛද්‍ය විශේෂඥයින් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු විසඳීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා රජයට බලපෑම් කිරීමට දරන උත්සාහය පිළිබඳව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

SLQF 12 ඉහළම සුදුසුකම් සපුරා තිබියදීත්, පසුගිය දශක කිහිපය තුළ රජයේ වෛද්‍ය විශේෂඥයින් හට හිමිවිය යුතු වරප්‍රසාද, අයිතිවාසිකම් සහ නිසි පිළිගැනීම අහිමි වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි. නිදහසින් පසු සිදු වූ විවිධ වැටුප් සංශෝධන හරහා ඔවුන්ගේ සේවා තත්ත්වය සහ වැටුප් ව්‍යුහය දරුණු ලෙස පිරිහීමට ලක්ව ඇති බවද AMS අවධාරණය කරයි.

මෙම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ නායකත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වත්මන් රජය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අමාත්‍ය මණ්ඩලය, එම ගැටලු විසඳීම සඳහා ඓතිහාසික තීරණ කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ. රජයේ මෙම තීරණය වෛද්‍ය විශේෂඥයින් රට හැර යාම පාලනය කිරීමටත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් බෙහෙවින් ඉවහල් වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තීරණාත්මක නායකත්වය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ වෙනුවෙන් ඉටු කළ මෙහෙවර වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ ඇගයීමට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් විසින් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සහ සිය සාමාජිකයින් පවා නොමග යවමින් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට දරන උත්සාහයන් හමුවේ රජය කිසිසේත් පසුබට නොවිය යුතු බව AMS අවධාරණය කරයි. 

අනෙකුත් වෘත්තිකයන්ගේ සාධාරණ අයිතිවාසිකම් දිනා ගැනීමට තම සංගමයේ කිසිදු විරෝධයක් නොමැති බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ක්‍රියාවලිය යම් හෙයකින් අඩාල වුවහොත්, සිය අයිතිවාසිකම් සහ රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ අනාගතය සුරැකීම වෙනුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට රජයේ වෛද්‍ය විශේෂඥයින් පෙළඹෙනු ඇති බවට සංගමය අනතුරු අඟවයි.

Previous Post Next Post