ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නාය යෑම අධි අවදානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීමේදී ඇති වී තිබූ ගැටලු විසඳන ලෙසට ආරක්ෂක ලේකම්වරයාගෙන් සිදු කළ ඉල්ලීමට අනුව ඊට අදාළව විසඳුම් ලැබුණු බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරයි.
පැවැති ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ආරක්ෂක ලේකම්වරයා උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබෙන බවත් අදාළ උපදෙස්වලට අනුව වන්දි ගෙවීම සිදු කරන බවද එම සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා ‘මව්බිම‘ පුවත්පත සිදු කළ විමසීමකදී සඳහන් කළේය.
ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නාය යෑම අධි අවදානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීමේදී ඇති වී තිබූ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය හා රජයේ ගණකාධිකාරි සේවා සංගමය විසින් පසුගිය 08 වැනි දින ආරක්ෂක ලේකම්වරයාට ලිපි යොමු කර තිබිණි.
මේ අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන නව උපදෙස් මාලාවේ මේ අයුරින් සඳහන් වේ.
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සත්‍ය සැලසීම සඳහා සහ සුරක්ෂිත ජීවන මට්ටමක් ලබාදීම සඳහා මෙම ආපදා අවස්ථාවට පමණක් බලපාන පරිදි රු.5,000,000 දක්වා දීමනා ගෙවීමේ බලතල ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දී ඇත.
පූර්ණ නිවාස හානි සඳහා නව නිවෙසක් ඉදිකිරීමට දීමනා ලබාදීමේදී
නිවෙස පිහිටි ඉඩමෙහි පවතින අධි අවදානම් තත්ත්වය හේතුවෙන් වෙනත් ආපදා රහිත ඉඩමක නිවෙස ඉදිකිරීමේදී, අදාළ පිරිවිතරයන්ට අනුව සුදුසු සැලසුමකට අනුව නිවෙස ඉදිකිරීමට කටයුතු කළ යුතුය.
එමෙන්ම මෙම නිවාස සැලැස්ම අනුව පළමු රුපියල් 2,000,000 යොදා ගෙන කළ යුතු වැඩ කොටස් දක්වා ඇති අතර ඉන් අනතුරුව රුපියල් 1,500,000 බැගින් වූ කොටස් 02 අනුව කළ යුතු ඉදිකිරීම් සඳහා සැලසුම් පරිදි කටයුතු කළ යුතුය.
මෙහිදී අවම වර්ග අඩි 650ක නිවෙසක්, ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවේ නිර්දේශ මත හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත භූමියට සරිලන ලෙස සකස් කර ගැනීමට හැකියාව ඇත. මෙම නිවාස සැලසුම් සඳහා පළාත් පාලන ආයතනවල එකඟතාව ලබා ගැනීම ප්‍රමාණවත් වේ.
මෙහිදී අධි අවදානම් තත්ත්වයේ පවතින පදිංචිව සිටි නිවෙස පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා රජයට පැවරීමට එකඟව දක්වා ඇති ගිවිසුමට යටත්ව ප්‍රතිලාභියා විසින් කටයුතු කළ යුතුය.
එකී රක්ෂිතයක් බවට පත් කළ ඉඩම අදාළ ආපදාව සිදුවන අවස්ථාවේ ඉඩමේ හිමිකම දරන ලද අයට හෝ ඔහුගේ/ ඇයගේ කලත්‍රයාට පමණක් කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදා ක්‍රමයට බදු ලබාදීමට ප්‍රාදේශීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් අනුමැතියෙන් කටයුතු කළ හැකි අතර එකී ඉඩමේ පිහිටි සියලු ගොඩනැඟිලි, වැසිකිළි, කැසිකිළි සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කළ යුතු වේ. එමෙන්ම රාත්‍රි කාලයේ රැඳී සිටීමට කිසිදු අයුරකින් ඉඩ ලබා නොදිය යුතුය.
අර්ධ නිවාස හානි සඳහා වන්දි ගෙවීමේදී
මෙම මුදලින් රුපියල් 300,000ක වාරිකයක් මූලිකව ලබාදී, නිවෙස ආපදා ප්‍රත්‍යස්ථිකව ප්‍රතිසංස්කරණය කරනු ලබන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉතිරි රු.200,000 මුදල නිකුත් කළ යුතුය.
පහත (අ) සිට (ඊ) දක්වා වන ඉදිකිරීම්වලින් අවම වශයෙන් එකක් හෝ සිදු කරනු ලබන අර්ධ හානි නිවාසවල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් තක්සේරුවකින් තොරව ගෙවනු ලබන රු. 500,000 ක දීමනාව හිමි වේ.
තම නිවෙස සඳහා නව ස්ථිර කොටසක් ආපදා ප්‍රත්‍යස්ථික ලෙස ප්‍රතිසංස්කරණ කිරීම හෝ
අලුතින් ඉදිකිරීම. (ආ) මුළුතැන්ගෙය ආපදා ප්‍රත්‍යස්ථික ලෙස ප්‍රතිසංස්කරණ කිරීම හෝ අලුතින් ඉදිකිරීම,
නිවෙසේ වහලය ස්ථිර ලෙස සකස් කිරීම,
නිවෙසේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර ගැනීම හෝ අලුතින් ඉදිකිරීම,
නිවෙස ආපදා ප්‍රත්‍යස්ථික වන පරිදි බැමි හෝ ඉඩමේ සංරක්ෂණ ක්‍රමවේද සකස් කරගැනීම,
ඉදිරියේදී ඇති විය හැකි ආපදා අවස්ථාවන්ට ඔරොත්තු දෙන පරිදි අර්ධ හානි වූ නිවෙස ප්‍රතිසංස්කරණය කිරීම.
ඉන්දික හේවාවිතාරණ
