අලුත් ගල් අඟුරු ප්‍රමිති වාර්තා වෙනස් කරන්නැයි රසායනාගාරවලට දේශපාලන බලපෑම්..?

 


ඉන්දියාවේ 'Trident Chempher' සමාගමෙන් මෙරටට ගෙන්වූ ගල් අඟුරු තොගයේ ප්‍රමිතිය සම්බන්ධ රසායනාගාර වාර්තා වෙනස් කරන ලෙසට අදාළ ආයතන වෙත දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

"නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අනුබද්ධ බලශක්ති අමාත්‍යාංශ රසායනාගාරය ලබාදුන් වාර්තාව නිවැරදි නොවන බව පවසමින්, රජය විසින් අදාළ ගල් අඟුරු සාම්පල ඉන්දියාවේ පිහිටි 'Cotecna' නම් නෙදර්ලන්ත සමාගමට අයත් රසායනාගාරයක් වෙත යොමු කළා. එම රසායනාගාර වාර්තාව ජනවාරි 16 වැනිදා ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළත්, මෙතෙක් එම වාර්තාව ලැබී නැහැ.

අපට ලැබී ඇති තොරතුරු අනුව, අදාළ ගල් අඟුරු තොගය ප්‍රමිතියෙන් බාල බවට තහවුරු වී ඇති අතර, එම වාර්තාව වෙනස් කරන ලෙස අදාළ රසායනාගාරයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මෙරට රසායනාගාරය මගින් ද මෙම ගල් අඟුරු බාල බවත්, ඒවා භාවිතයෙන් බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට සහ පරිසරයට හානි සිදුවන බවත් පෙන්වා දී තිබුණා. ඉන්දියාවේ පිහිටි රසායනාගාරයත් එම ප්‍රතිඵලයම තහවුරු කර ඇති බව අපට දැනගන්නට ලැබී තිබෙනවා.

දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යාජ වාර්තා ඉදිරිපත් කළද, වසර අවසානයේදී ගල් අඟුරු ප්‍රමාණය සහ උත්පාදනය කළ විදුලි ඒකක ප්‍රමාණය සන්සන්දනය කිරීමෙන් මෙහි ප්‍රමිතිය (Calorific Value) නිවැරදිව ගණනය කළ හැකියි. එබැවින් දේශපාලන බලපෑම්වලට යටත්ව ව්‍යාජ දත්ත නිකුත් කර තම ආයතනයේ කීර්ති නාමය විනාශ කර නොගන්නා ලෙස අපි අදාළ නෙදර්ලන්ත සමාගමෙන් ඉල්ලා සිටිනවා.

එසේම, පැවති ආණ්ඩු මෙන් දූෂිතයන් ආරක්ෂා නොකර, මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා."

1 Comments

  1. පැවති ආණ්ඩු එකක්වත් මේ වගේ දේශද්‍රෝහී වැඩ කරල නෑ.

    ReplyDelete
Previous Post Next Post