ඇප නැතිව ණය දෙන හැටි බැංකුවලට හරියට කියන්නැයි කියති...


ව්‍යවසායකයාගේ ඇපකරයකින් තොරව ණය ලබා ගැනීමේ ක්‍රමවේදය සහ තොරතුරු අදාළ බැංකුවලට නිසිලෙස සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු අවධාරණය කරති

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත රජය විසින් ලබා දෙනු ලබන ප්‍රතිලාභ පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් පවත්වන කරන ලදී. 

මූල්‍ය ප්‍රවේශයන්ට ඇති ප්‍රධාන බාධාවන් වන ඉහළ පොලී අනුපාත සහ ඇපකර නොමැති වීම සඳහා රජය විසින් ලබා දී ඇති විසඳුම් නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඉහළ පොලී අනුපාත සඳහා විසඳුම් ලෙස රජයේ හෝ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ අරමුදල් මගින් ක්‍රියාත්මක ප්‍රතිමූල්‍ය ණය ක්‍රමය (Re-financing loans) හදුන්වා දීම සහ පොලී සහනාධාර ලබාදෙන ණය ක්‍රම(Interests subsidy loans) සඳහා 2026 වසර වෙනුවෙන් රු. මිලියන 95686ක් වෙන් කර  ඇති බව  නිලධාරිහු පැවසූහ.

මේ අනුව දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතු ඉක්මනින් නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන ණය (Working capital loans) ලබා දීම පසුගිය දෙසැම්බර් 16 සිට රාජ්‍ය බැංකු 3ක් මගින් මේ විටත් අරඹා ඇති බව නිලධාරීහු දැනුම් දුන්හ. පෞද්ගලික බැංකු ඇතුළු තවත් බැංකු 13 ක් මේ වන විට මෙම ණය ලබාදීමට ගිවිසුම්ගතවීම සදහා කැමැත්ත පළ කර ඇති බවත් මෙහිදී නිලධාරීහු පැවසුහ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් 0% පොලිය මත බැංකුවලට මුදල් ලබාදෙන බවත් බැංකු මගින් 3%ක පොලී අනුපාතය යටතේ රු. මිලියන 25ක් දක්වා ණය ලබා ගත හැකි බවත් ඔවුහු සඳහන් කළහ. ඒ අනුව 2026 වර්ෂය සදහා රු. මිලියන 10,000ක් ඒ සඳහා වෙන්කර තිබේ.  

එසේම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත බල ගැන්වීම සඳහා වන ණය පහසුකම යටතේ රු. මිලියන 25 ක් දක්වා 5% පොලිය යටතේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගත හැකි බවත් 2026 වසරේ ඒ සඳහා රු. මිලියන 25000ක් වෙන් කර ඇති බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. 

එසේම ණය ලබා ගැනීමේදී ව්‍යවසායකයන් මුහුණදෙන ඇපසුරැකුම් ඉදිරිපත් කිරීමේ ගැටලුවට විසඳුමක් ලෙස  ස්ථාපිත කර ඇති සීමාසහිත ණය සුරැකුම් ආයතනය විසින් එම මෙහෙයුම් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ වන විට අදාළ ණය මුදලින් 67% ක් සදහා ඇප ආවරණය ලබා දෙන බවත් කාන්තා ව්‍යවසායකයන් සඳහා 80%ක ඇප ආවරණයක් ලබා දෙන බවත් එම ආයතනයේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය. ව්‍යවසායකයෙක් ලබා ගන්නා ණය මුදලින් 67%කට පමණක් ඇපකරයක් හිමිවීම තුළ ඉතිරි 33% සදහා ඇපකරයක් නොමැතිවීම ප්‍රායෝගික තත්ත්වය තුළ ගැටලුවක් බැවින් ඒ සඳහා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දෙන ලදී.

එසේම මෙම ණය ලබා ගැනීමේදී සහ  ඇපකරයන් පිළිබඳ නිවැරදි ක්‍රමවේදය සහ තොරතුරු අදාළ බැංකුවලට සහ ව්‍යාපාරිකයන්ට තවමත් නිසිලෙස සන්නිවේදනය නොවීම ගැටලුවක් බවත් එය  නිවැරදිව සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ. 

කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන දායක්වය ඉහළ නැංවීම සඳහා ණය පහසුකම් ලබා දීම පෙබරවාරි දෙවන සතියේ සිට ආරම්භ කරන බවත් නිලධාරීහු සඳහන් කළහ. මේ යටතේ රු. ලක්ෂ 50 ක ණයක් කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිර්දේශය මත ලබා දීමට නියමිත බවත් 2026 වසරේ ඒ සඳහා රු. මිලියන 800ක් වෙන්කර ඇති බවත් දැනුම් දුන්හ.  

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මගින් ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රම සහ පොලී සහනාධාර ලබාදෙන තවත් ණය යෝජනා ක්‍රම පිළිබඳව මෙහිදී  මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සිදුවූ අතර ඒවාට අදාළ මන්ත්‍රීවරයන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදුවිය. 

Previous Post Next Post