පෙන්ෂන් අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත‍්‍රී පිරිසක් නඩු දමයි..

 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවීමට අදාළව ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ. 

මෙම යෝජිත පනතේ ඇතුළත් විධිවිධාන රැසක් මූලික නීතියට අනුකූල නොවන බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් මෙම පියවර ගෙන ඇත.

එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා, බී.එම්. දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත් මෙන්ම පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන හිටපු මන්ත්‍රීවරුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මෙම කෙටුම්පතේ ඇතැම් වගන්ති හරහා උල්ලංඝනය වන බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවයි.

අදාළ පනත් කෙටුම්පත බලාත්මක කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත වී ජනමත විචාරණයකට යොමු කර ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

Previous Post Next Post