මෑතකදී මෙරටට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ යටිතල පහසුකම් පද්ධතියට සිදුවූ රුපියල් බිලියන 20කට ආසන්න අලාභය, ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධන හරහා පාරිභෝගිකයන් මත පැටවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
සංප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල පද්ධති දෙකටම මෙමගින් දැඩි හානි සිදුව ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ විදුලි සංප්‍රේෂණ රැහැන්වලට රුපියල් බිලියන 1ක සහ බෙදාහැරීමේ පද්ධතියට රුපියල් බිලියන 19ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.
මෙම අලාභය විදුලි ගාස්තු ඉහළ දැමීම මගින් පාරිභෝගිකයන්ගෙන් අයකර ගන්නේද යන්න පිළිබඳව කළ විමසීමකදී එම නිලධාරියා සඳහන් කළේ, එම පිරිවැය එකවර අයකර නොගෙන කාලයත් සමඟ ක්‍රමයෙන් පාරිභෝගික ගාස්තුවලට ඇතුළත් කිරීමට සිදුවනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ විදුලිය සැපයීමේ පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
විදුලි ගාස්තු සංශෝධනය කාර්තුවකට වරක් සිදුකිරීමට නියමිතව ඇත. පසුගිය කාර්තුවේ සිදුවූ පාඩුව ද පියවා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය සියයට 11.57ක ගාස්තු වැඩිවීමක් මෑතකදී ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, 2026 වසරේ පළමු කාර්තුව සඳහා කිසිදු ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
නියමිත කාලය තුළ විධිමත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වීම සහ ඉදිරිපත් කළ වාර්තාවල පවතින අඩුපාඩු එම තීරණයට හේතු වී තිබේ. 2026 ජනවාරි - මාර්තු කාර්තුව සඳහා වූ යෝජනා 2025 නොවැම්බර් 14 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී තිබුණි.
රජය ද මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමට කැමැත්තක් නොදක්වන නමුත්, පළමු කාර්තුවේදී මිල සංශෝධනයක් සිදු නොවුවහොත් මීළඟ කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා ඉහළ අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
