රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (ජනවාරි 23) දින ආරම්භ කිරීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තම සංගමයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) නිල වශයෙන් නිවේදනය කරයි.
අද දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් එම සංගමය අවධාරණය කර සිටින්නේ, වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සාමාජිකයින් සුපුරුදු පරිදි සිය සේවාවන්හි නිරත වන බවත්, මහජනතාවට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන බවත්ය.
වෛද්‍ය විශේෂඥයින් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා රජය මේ වන විට ගෙන යන වැඩපිළිවෙල ප්‍රාණ ඇපයට ගන්නා, අඩපණ කරන හෝ ආපසු හැරවීමට උත්සාහ කරන ඕනෑම ක්‍රියාවකට සංගමය දැඩි ලෙස විරුද්ධ වේ.
එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්රයේ ස්ථාවරත්වයට හා රෝගී සත්කාරක සේවාවල ගුණාත්මකභාවයට දැඩි හානි පැමිණිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳා ගැනීම සඳහා වඩාත්ම වගකීම් සහගත සහ ඵලදායී මාර්ගය වන්නේ අර්ථවත් සාකච්ඡා සහ සම්මුතීන් බව සංගමය තරයේ විශ්වාස කරයි.
රෝගී සත්කාරක සේවාව සුරක්ෂිත කිරීමටත්, වෘත්තීය ගරුත්වය රැක ගැනීමටත්, සාධාරණ මැදිහත්වීම් හරහා ගැටලු විසඳා ගැනීමටත් තමන් කැපවී සිටින බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ටී.ජී.වයි. රසික ගුණපාල සහ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

