රජය විසින් මේ වන විට ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 1500කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
අස්වනු නෙළීම ආරම්භ කර ඇති ප්‍රදේශවල වී ගබඩා 75කට අධික සංඛ්‍යාවක් දැනටමත් විවෘත කර ඇති අතර, ඉතිරි ගබඩා ද කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ගොවීන්ට සිය අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා වී කිලෝවක් රුපියල් 130කට ද සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කට ද රජයේ ගබඩාවලට අලෙවි කිරීමට ගොවීන්ට හැකියාව පවතී.
රජයේ මෙම මැදිහත්වීම පිළිබඳව ගොවීන් තුළ විශාල උනන්දුවක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව, පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් නිෂ්පාදන වියදම අඩු කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇත.
ඒ යටතේ අනුරාධපුර ප්‍රදේශයේදී රාජ්‍ය මැදිහත්වීම මත සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
පෞද්ගලික අංශයේ මෙවැනි ආයතන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා දෙමින් නිෂ්පාදන පිරිවැය අඩු කිරීම රජයේ ඉලක්කය වී තිබේ. මෙමගින් බිත්තර සහ කුකුල් මස් මිල අඩු කිරීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
නිෂ්පාදන වියදම අඩු කිරීමේ අරමුණින් මෙම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරන බව ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
