බාල ගල් අගුරුවලින් සමාගමට ලාබය මිලියන 60යි.. ආණ්ඩුවේ දඩය මිලියන දෙකයි.. 58ක් ලාබයි..


නොරොච්චෝල බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ආනයනය කිරීම හරහා රජයට සහ ජනතාවට විශාල මූල්‍යමය හා තාක්ෂණික අලාභයක් සිදුව ඇති බවත්, ඒ හරහා අදාළ සමාගම එක් නැවකින් පමණක් ඩොලර් මිලියන 30ක අධික ලාභයක් ලබන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මෙහිදී Q1 සහ Q2 ලෙස ගල් අඟුරු වර්ග දෙකක් ඇති බවත්, උසස් ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු වෙනුවට බාල ප්‍රමිතියේ ගල් අඟුරු ගෙන ඒමෙන් මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 20ක පමණ මුදලක් වංචා කරන බවත්ය. 

ඒ අනුව මෙට්‍රික් ටොන් 60,000ක් රැගෙන එන එක් නැවකින් අදාළ සමාගම ඩොලර් මිලියන 30ක ලාභයක් ලබන අතර, දැනටමත් එවැනි නැව් දෙකක් ගොඩබෑම හරහා ඩොලර් මිලියන 60ක ලාභයක් උපයා ඇති බව ඔහු සඳහන් කරයි.

නඩත්තු ගැටලු සහ අධික පිරිවැය මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා පරිසරයට හානි සිදුවනවා පමණක් නොව, බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට ද දැඩි හානි සිදුවන බව ජයගොඩ මහතා අවධාරණය කරයි. 

92 පෙට්‍රල්වලට හදපු වාහනයකට 95 පෙට්‍රල් ගැහුවොත් සමාගම වගකියන්නේ නැහැ. ඒ වගේම බලාගාරයේ මැෂින් හදලා තියෙන ස්පෙසිෆිකේෂන්වලට පිටින් බාල ගල් අඟුරු දැම්මම මැෂින් කැඩෙනවා. එතකොට වගකීම් අහෝසි වෙනවා," යැයි ඔහු පෙන්වා දුන්නේය.

ඒනිසා විදුලිය උත්පාදනය සඳහා ඩීසල් වැනි ඉන්ධන භාවිත කිරීමට සිදුවන බවත්, ගල් අඟුරු මගින් රුපියල් 20-21 අතර මුදලකට නිපදවන විදුලි ඒකකයක් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමේදී රුපියල් 100ක් දක්වා අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත් හෙතෙම පැවසීය.

අදාළ සමාගමට පනවා ඇති ඩොලර් මිලියන දෙකක දඩ මුදල පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එය ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද දඩයක් මිස සිදුවූ හානිය වෙනුවෙන් අය කරගන්නා හානිපූරණයක් නොවන බවයි. කෝටි ගණනක ලාභයක් ලබන සමාගමකට මෙවැනි සුළු දඩයක් පැනවීම විහිළුවක් බව ඔහු පෙන්වා දෙයි.

විදුලිබල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කටයුතු කරන්නේ අදාළ සමාගමේ නියෝජිතයෙකු ලෙස බවට ද ජයගොඩ මහතා චෝදනා කළේය. 

විදුලිබල අමාත්‍යාංශය මගින් සිදුකරන විමර්ශන "හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්" බඳු යැයි පැවසූ ඔහු, මේ පිළිබඳව ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී ස්වාධීන විමර්ශනයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවට බලකර සිටියි

1 Comments

  1. When Prima flour mill was operated under PPP contract, CWE was responsible for purchasing Wheat Grain for Prima Mill from international market on competitive tenders. Monthly requirement was around 100000 M/Tons. CWE done tenders without any issue at all.

    ReplyDelete
Previous Post Next Post