කෙටුම්පත් කර ඇති නව විදුලිබල ප්‍රතිපත්තිය මහජන උපදේශන ක්‍රියාවලිය මඟහැර කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමේ සූදානමක් පවතින බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පැවැසීය.
මෙම ලියැවිල්ල වැසූ කාමරවල ඉඳන් සකස්කර පස්සා දොරින් ඉදිරිපත් කරන ලියැවිල්ලක් යැයිද හේ පැවැසීය.
මහජන උපදේශනයට ඉදිරිපත් කරන බවට වෙබ් අඩවියක සඳහන් වී තිබූ නමුත් මහජනතාව ඒ පිළිබඳ අදහස් දැක්වූවා යැයි තමා නොසිතන බවටත් ඒ වෙනුවට ආයතන මට්ටමින් පැමිණි අයගෙන් අදහස් විමසීම් කළේද වෙන් වෙන්ව, රහසේ බවටත් චෝදනා කළේය. රජයේ නව විදුලිබල ප්‍රතිපත්තියෙහි අය ක්‍රමය තාක්ෂණික දෑ සරලව මහජනතාවට තේරුම් ගැනීමට නොහැකි බවත් මහජන අදහස් දැක්වීමට හැකි සරල ලියැවිල්ලක් නොවන එකක් බවත් රළපනාව මහතා සඳහන් කළේය.
මෙහි යෝජනා කර ඇති මතභේදාත්මක අය ක්‍රමය සම්පූර්ණයෙන්ම ආචාර්ය තිලක් සියඹලාපිටියගේ අදහසක් බවත් ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ අරමුදල විදේශ පළපුරුද්දක් තිබෙන අය ගෙන්වා සකස් කළ කෙටුම්පත පසෙකලා මෙම නව ප්‍රතිපත්ති ලියැවිල්ල සකසා ඇති බවටත් හෙතෙම චෝදනා කළේය.
නව විදුලිබල ප්‍රතිපත්තිය තුළින් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන් වහලය මත ඉදිකෙරෙන සූර්ය පැනල, කුඩා ජල විදුලිබලාගාර, සුළං බලාගාර අනිවාර්යයෙන්ම බරපතළ අර්බුදයකට යෑම වැළැක්විය නොහැකි බවත් හේ පැවැසීය. මේ තුළින් ඒකක 90ට අඩු අයගේ විදුලිබිල ඉතා විශාල ලෙස වැඩි වන බවත් එය මෙරට ජනතාවගෙන් මිලියන 11කට බලපාන බවත් එමෙන්ම ආගමික සිද්ධස්ථානවලට හා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලාවලටද මෙය දැඩි ලෙස බලපාන බවද රළපනාව මහතා පැවැසීය. මෙය දුප්පතාට වැඩි කර පොහොසතාට අඩු කරන ප්‍රතිපත්තියක් බව පැවැසූ ඒ මහතා ඒකක 180ට වැඩි ධනපතියන්ට මේ තුළින් සහන සලසා ඇති බවත් පැවැසීය.
අනුර බාලසූරිය
